ශ්‍රී ලංකාව සඳහා පරිපූර්ණ සමුද්‍රීය උපාය මාර්ගික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි

මාර්තු 09, 2025

"ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ප්‍රධානතම දූපත් රාජ්‍යයක් වශයෙන්, ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලනික සහ පාරිසරික සලකා බැලීම් ඒකාබද්ධ වන්නා වූ මනාව නිර්වචනය කරන ලද සමුද්‍රීය උපාය මාර්ගික ක්‍රියාවලියක් අවශ්‍ය වේ. කලාපීය සහ ගෝලීය බලවේගයන් ශීඝ්‍රයෙන් විකාශනය වන යුගයක, නැගී එන අභියෝග සහ අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පවතින සමුද්‍රීය ප්‍රථිපත්ති නැවත තක්සේරු කිරීමේ අවශ්‍යතාව පෙරටත් වඩා ඉස්මතු වී තිබේ.

ඒකාබද්ධ නාවික අභ්‍යාස, කාලීන තොරතුරු හුවමාරු කරගැනීම් සහ වැඩිදියුණු කළ ධාරිතාවන් ගොඩනැංවීම වැනි සහයෝගීතා මුලපිරීම් මෙහිදී අත්‍යවශ්‍ය සාධක වේ. මෙකී සාමූහික ප්‍රයත්නයන් සමුද්‍රීය ආරක්‍ෂක උපාය මාර්ගවල නවෝත්පාදන අවස්ථාවන් ඉහළ නංවන අතර, ප්‍රධාන පාර්ශවකරුවන් අතර, ශක්‍යතාවන් හුවමාරුව සඳහා අවශ්‍ය පහසුකම් සපයයි."

පසුගිය බදාදා (මාර්තු 5) කොළඹ පිහිටි Cinnamon Life at City of Dreams හෝටල් පරිශ්‍රයේදී පැවැති සමුද්‍ර කලාපීය දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වූ පාර්ශ්වකරුවන් සඳහා පවත්වනු ලැබූ හමුවේ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම අදහස් පල කළේය.

ඉන්දීය සාගර කලාපීය චින්තන සමූහයක් වන Geopolitical Cartographer ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාංශය යන ආයතන එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුවට Geopolitical Cartographer ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ රිෂාන් ද සිල්වා මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු Akio Isomata මැතිතුමා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මැතිතුමා ඇතුළු ප්‍රමුඛ පෙළේ කථිකයින් පිරිසකගේ දායකත්වයෙන් පවත්වනු ලැබිණ.

මෙදින පවත්වනු ලැබූ වැඩමුළුවේදී අදාළ විෂය කරුණු හා සම්බන්ධ විශේෂඥයින්ගේ දැනුම හා බුද්ධිමය කරුණු රාශියක් කැටි වූ ඉදිරිපත් කිරීම් සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව "Enhancing Maritime Awareness in South Asia: Challenges and Interagency Collaboration." යන තේමාව ඔස්සේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. රියර් අද්මිරාල් ජගත් රණසිංහ (විශ්‍රාමික) විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබූ අතර, ජපාන වෙරළාරක්‍ෂක බලකායේ Shinnosuke Nakata මහතා, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සහාය නිලධාරිනී Shafina Aishath මහත්මිය, ගෝලීය කටයුතු පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ආචාර්ය Nivedita Ray සහ මාලදිවයිනේ හිටපු ආරක්‍ෂක අමාත්‍ය සහ ජාතික ආරක්‍ෂක උපදේශක Ameen Faisal මහතා වැනි කීර්තිමත් කථිකයින් පිරිසක් ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාංශයේ සහයෝගයෙන් දික්ඕවිට ධීවර වරායේ දී සිදුකෙරෙන ධීවර යාත්‍රා වලට ධීවරයන් ගොඩවීමේදී සිදුකෙරෙන විශේෂ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ සහ ඒ ඔස්සේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික නිදර්ශනයක් ඉදිරිපත් කරන ලද අතර, එමඟින් මෙරට ක්‍රියාත්මක සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් පිළිබඳ වැඩමුළුවට සහභාගිවූවන්ගේ අවබෝධය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නියෝජිතයින්, විෂයානුබද්ධ ශාස්ත්‍රඥයින්, වෘත්තීය ආයතන නියෝජිතයින්, ජාත්‍යන්තර සහ කලාපීය හවුල්කාර ආයතන නියෝජිතයන් මෙන්ම සමුද්‍රීය ආරක්‍ෂාව සහ ඒ ආශ්‍රිත විෂයයන් පිළිබඳ කටයුතු කරන කීර්තිමත් විද්වතුන් රැසක් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියහ. මෙවැනි සහයෝගීතා වැඩසටහන් ඔස්සේ සමුද්‍රීය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරනු ලබයි.