නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ
වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි
මාර්තු 19, 2025
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ගරු ලුර්දු ආනන්දන් පියතුමා (Rt. Revd. Dr. Lourdu Ananthan. Bishop of Sivagangai diocese, India) යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා (Very Revd. Fr. P. J. Jebaratnam,Vicar General, Jaffna Diocese) කොළඹ අග රදගුරු පදවියේ ගරු සිස්වාන් ද කෲස් පියතුමා (Revd. Fr. Ciswan de Croos, Colombo Arch Diocese) ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක ගරු අශෝක් පියතුමා (Revd. Fr. Ashok, Parish Priest, Rameswaram, India) සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු පී. පතිනාදන් පියතුමා (Revd. Fr. P. Pathinathan. Parish Priest, Delft) යන පූජක ප්‍රසාදීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන්, යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් රදගුරු හිමිපානන්ගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන් (Maruthalingam Piiratheepan) මහතාගේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සම්පත්, තාක්‍ෂණික හා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්විණි.
එහි අවසන් දේව මෙහෙය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, නාවික හමුදාධිපති හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සහ යාපනයේ ඉන්දීය කොන්සාල් ජෙනරාල් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වු අතර, එහි ස්තූති පුදකිරීමේ දේශනය සිදුකල යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා, “උරුමයෙන් ලද සමුද්‍රීය සම්පත් සහ ජෛව විවිධත්වය නිතී ගරුක ශිෂ්ඨ පරපුරක් ලෙස මතු අනාගතයටද දායාදකර දීමට කැපවෙමු” යන නාවික හමුදාධිපති විසින් සියළු ලෝක වාසීන් වෙත ලබා දුන් පණිවිඩය, එම දේව මෙහෙය සඳහා පැමිණ සිටි අටදහස් පන්සීයකට අධික (8500) ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් වෙත පවසන ලදි.
මෙවර මෙම දේව මංගල්‍යය ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියළු පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කෙරිණි. එහිදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය මූලික අවශ්‍යතා සියල්ල ස්ථාපනය කෙරුණු අතර, ජීවිතාරක්‍ෂක කටයුතු, සනීපාරක්‍ෂක සහ වෛද්‍ය අවශ්‍යතාද සන්නිවේදන අවශ්‍යතාවයන්ද, සැලසුම් සහගතව සංවිධානය කෙරිණි.
තවද, මෙහිදී කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අවසානයේ දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරුදුන් නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාව සහ ඉන්දියානු බැතිමතුන් පමණක් නොව ලෝව සෑම කලාපයක් වෙතින්ම බැතිමතුන් සම්බන්ධවන සංස්කෘතික වශයෙන් වැදගත් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය ශ්‍රී ලංකා රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාවට යාපනය රදගුරු පදවිය, උතුරු පලාත් ආණ්ඩුකාර, දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය ආයතන සහ පොලීසිය යන ආයතන එක්ව සාර්ථකව පැවැත්වීමට හැකිවු බව පවසන ලදි.
එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැගූ ගැටළු සඳහා පිළිතුරු ලබාදුන් නාවික හමුදාධිපති, සාගරය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත, වෙරළාරක්‍ෂක, යුද, ගුවන්, පොලිස් ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව සමුද්‍රීය ආරක්‍ෂාව සුරැකීමට නාවික හමුදාව කටයුතු කරන බවත්, ඒ සඳහා ඉන්දියාව, ඇතුළු කලාපීය රාජ්‍යයන් සහ අනෙකුත් රාජ්‍යන් වෙතින් විශාල සහයෝගයක් ලැබෙන බවත්, පවසන ලදි. රටේ නීතිය උල්ලංඝනය කරමින් සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සහ මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව කැපවෙන බවද, පවසන ලදි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ අනෙකුත් සමුද්‍රීය රාජ්‍යන් අතර, දේශසීමා ඉතා පැහැදිලිව ස්ථාපනය කර ඇති අතර, ඒ සඳහා නීතිමය රාමුවද ඉතා පැහැදිලිව ඇති බවත්, සියළුම රාජ්‍යන් ඒ සම්බන්ධව මනා අවබෝධයකින් කටයුතු කරන බවද, නාවික හමුදාධිපති විසින් පවසන ලදි. මුහුදු සීමා උල්ලංඝනය ඕනෑම පාර්ශවයකින් සිදු වූ විට ඊට එරෙහිව සෑම රාජ්‍යක්ම නීතිය ක්‍රියාත්මක කරන බවද, ඒ අනුව නාවික හමුදාවද නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීමට බැදී සිටින බවද, ප්‍රකාශ කර සිටින ලදි. තවද, ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය පියවර ගන්නා බවද, ශ්‍රී ලංකා මුහුදු සීමාව ඔස්සේ යාත්‍රා කරනු ලබන සියළුම නෞකාවන් සහ එම නෞකාවන් හි අරමුණද නිරන්තරයෙන් නිරීක්‍ෂණය කර නිසි පාලනයක් යටතේ පවත්වාගෙන යන බවත්, ඔවුන් දේශිය මුහුදු සීමාවට ඇතුළු වු අවස්ථාවේ සිට දිවා රාත්‍රි ඒ සම්බන්ධ අඛණ්ඩව අවේක්‍ෂණය සිදුකරන බවත් පවසන ලදි.
ශ්‍රී ලංකා මුහුදු සීමාව මුහුදු මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයන් සිදු නොවන කලාපයක් බවත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේදී කිසිදු ධීවරයෙකුට ප්‍රහාර එල්ල නොවුන බවත් පවසා, විදේශීය මාධ්‍ය වේදියෙකුගේ ප්‍රශ්නයකට තව දුරටත් පිළිතුරු ලබාදුන් නාවික හමුදාධිපති, සාගරයේ සිදුවන නීති විරෝධී කටයුතු වැළැක්වීම සඳහා අවශ්‍යය තොරතුරු හුවමාරු කර ගැනීම සහ ආරක්‍ෂක සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හා අනෙකුත් කලාපීය රාජ්‍යයන් සමඟ ඉතා හොඳ සබඳතාවයක් පවතින බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර මෙන්ම, ඉන්දීය හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතරත් එළෙස සබඳතා පවතින බවත්, මෙරට ත්‍රිවිධ හමුදාවන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් කලාපීය රාජ්‍යයන් විශාල දායකත්වයක් දක්වන බවත්, ප්‍රකාශකර සිටි නාවික හමුදාධිපති, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් අඛණ්ඩව දේශ සීමා මුර සංචාර සිදුකරන බවත්, පවසන ලදි.
දායාදයක් ලෙස අප ලද මෙම සම්පත් සහ ජෛව විවිධත්වය මතු පරපුරටද එලෙසම ලබා දීම අපසතු වගකීමක් වන බවටත්, සෑම පුද්ගලයෙකුටම ජාත්‍යන්තර නීතියට සහ රාජ්‍යයන්ගේ නීතිවලට ගෞරව කිරීම ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය කරුණක් බවට සිහිපත් කල නාවික හමුදාධිපති, පරිසර වේදීන්, අධ්‍යාපන වේදීන්, සහ මාධ්‍ය වේදින් හට මෙම වගකීමේ විශාල කොටසක් පැවරී ඇති බවත්, ප්‍රකාශ කලේය. තවද, මෙම ආගමික උත්සව අවස්ථාව සඳහා නිවැරදි මාධ්‍යකරණය වෙනුවෙන් පැමිණි සියළු මාධ්‍ය වේදීන් හට ස්තූතිය ඵල කරන බවත්, පවසන ලදි.
තවද, මෙම කච්චතිව් දේව මංගල්‍යය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් හා රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික පුද්ගලයන්, ශ්‍රී ලංකා සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වරුන්, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් මාධ්‍යවේදින්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
අනුග්‍රහය - www.navy.lk