ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
මාර්තු 20, 2025
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි අද්මිරාල් Samuel Paparo, අද (මාර්තු 20) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
අද්මිරාල් Paparo ගේ නායකත්වයෙන් යුත් ඇමරිකා එක්සත් ජනපද දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව ඔවුන් සමඟ සුහඳ සාකච්ඡාවක ද නිරත විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Anthony Nelson ද මෙම අවස්ථාවට සහභාගී විය.
සාකච්ඡාව අතරතුරදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන ආරක්‍ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්‍ෂක මුලපිරීම් ශක්තිමත් කිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමුවිය. අන්තර් සහයෝගී ක්‍රියාකාරකම් සහ අන්‍යොන්‍ය අවබෝධය තුලින් ඉන්දු - පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳවද, දෙපාර්ශවයේ නිලධාරීන් මෙහිදී අවධාරණය කළහ.
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය පිළිබඳව සිහිපත් කල එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) ඒ පිලිබඳ සිය කෘතඥතාව පළ කලේය.
අද්මිරාල් Paparo විසින් ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීම කෙරෙහි එක්සත් ජනපදයේ කැපවීම යලිත් තහවුරු කල අතර, ඉන්දු - පැසිෆික් කලාපයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීමෙහි වැදගත්කම පිළිබඳවද අවධාරණය කලේය.
ආරක්‍ෂක සහයෝගීතාව මෙන්ම, රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා පවතින නව ප්‍රවේශයන් ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බව තහවුරු කරමින් සාකච්ඡාව අවසන් විය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සිහිවටන හුවමාරුවක්ද සිදු කෙරිණ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.