ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි,
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
මාර්තු 20, 2025
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි, අද්මිරාල් Samuel Paparo, මාර්තු 20 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
එහිදී අද්මිරාල් Paparo සහ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡාවල නිරත වූහ. කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම නිලධාරීන් විසින් අවධාරණය කරනු ලැබීය.
තවද, අද්මිරාල් Paparo විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ ඉදිරි දැක්ම පිළිබඳ කරුණු රාශියක් ඉදිරිපත් කරනු ලැබූ අතර, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය පිළිබඳවද අවධාරණය කළේය. දෙරටේ ජනතාව අතර පවතින අන්‍යොන්‍ය සබඳතාවල වැදගත්කම ඉස්මතු කරමින්, සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා සමුද්‍රීය ක්ෂේත්‍රයේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සහාය හා තාක්‍ෂණික දැනුම ලබාදීම මෙන්ම, සමුද්‍රීය ආරක්‍ෂක උපායමාර්ගය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පහසුකම් සැලසීම ඔස්සේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරෙන සහාය දැක්වීමට ඇමරිකා එක්සත් ජනපදයේ කැපවීම ඔහු තහවුරු කළේය.
අද්මිරාල් Paparo ශ්‍රී ලංකාවේ සිදුකල මෙම සංචාරය ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙන්ම, ඉන්දු-පැසිෆික් සාගර කලාපයේ රටවල් මුහුණ දෙන පොදු අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ඇමරිකා එක්සත් ජනපද රජයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Anthony Nelson, විධායක සහකාර කැප්ටන් Toraason, දේශපාලන උපදේශක David Ranz මහතා සහ කමාන්ඩර් Rama Mutyala යන නිලධාරීන් ද එක්ව සිටියහ.