පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්ථාන ජාතික දිනය සමරයි

මාර්තු 25, 2025

මෙරට පිහිටි පාකිස්තාන ඉස්ලාමීය ජනරජ මහ කොමසාරිස් කාර්යාලය සඳුදා (මාර්තු 24) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පාකිස්ථාන ජාතික දිනය උත්කර්ෂවත් ලෙස සැමරීය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය ගරු අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)  සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වූහ.

පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් ෆහීම් - උල් - අසීස් (විශ්‍රාමික) මැතිතුමන් විසින් පැමිණි අමුත්තන් උණුසුම් ලෙස පිළිගත් අතර, සිය දේශනයේදී, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරින් මුල් බැසගත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කරමින් දෙරට අතර පවතින ඓතිහාසික හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිළිබඳ  අවධාරණය කළේය.

මෙම උත්සවයට මෙරට පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ඇතුළු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.