බංග්ලාදේශ ජනරජයේ 54 වන නිදහස් සංවත්සරය සහ
ජාතික දින සැමරුම් උත්සවය පැවැත්වේ
මාර්තු 27, 2025
බංග්ලාදේශ ජනරජයේ 54 වන නිදහස් සංවත්සරය සහ ජාතික දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධායකත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 26) දින කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස කම්කරු අමාත්‍ය ගරු අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සහභාගී විය. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ඊට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු Andalib Elias මැතිතුමා විසින් උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු M. Moniruzzaman ද සම්භාවනීය අමුත්තන් පිළිගැනීමට එක් විය.
මෙම උත්සව සභාව ඇමතූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සිහිපත් කරමින් දෙරට අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිලිබඳ අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරු, බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.