ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය
ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
මාර්තු 28, 2025
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods පසුගිය අඟහරුවාදා (මාර්තු 25) කොළඹ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුවේදී, දෙරට අතර පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක නිරත වූහ. ශ්‍රී ලංකා ආරක්‍ෂක නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් සපයනු ලබන පුහුණු අවස්ථා සහ තාක්‍ෂණික සහය පිළිබඳව මෙහිදී සිය ප්‍රසාදය පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, පුළුල් සහයෝගීතාවක් සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ජාතික ජල විද්‍යා කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල විද්‍යා කාර්යාලය අතර මෑතකදී අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම සම්බන්ධයෙන් ද, මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) සිය කෘතඥතාව පළ කළේය. මෙම ගිවිසුම මගින් ජාතික ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම, ආර්ථික ප්‍රතිලාභ උත්පාදනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ජලවිද්‍යාත්මක විභවයන් ශක්තිමත් කිරීම සිදුවනු ඇති බව ඔහු අවධාරණය කළේය. මෙම මූලෝපායික ගිවිසුම මගින් රටේ සමුද්‍රීය දත්ත ආරක්‍ෂා කරමින් මූල්‍ය හා තාක්‍ෂණික ප්‍රතිලාභ අත්පත් කරගැනීම තහවුරු කරයි.
සමුද්‍රී පාර්ශවකරුවන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා වන පුහුණු සැසි, ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන් සහ ආරක්‍ෂක සමාලෝචන පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ අඛණ්ඩ සහයෝගය කර්නල් Woods විසින් නැවත තහවුරු කළේය. House of Lords සහ the Royal College of Defence Studies හි සාමාජිකයින් ඇතුළු ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් 2025 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද, ඔහු නිවේදනය කළේය.