ඉන්දීය INS Sahyadri නෞකාවේ මෙරට සංචාරය ඔස්සේ ඉන්දු - ශ්‍රී ලංකා
ආරක්‍ෂක සහයෝගීතාව යළි අවධාරණය කෙරේ

අප්‍රේල් 07, 2025

"ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට නිළ සංචාරය මෙරට ඉතිහාසයේ විශේෂ වැදගත් දිනයක් වශයෙන් සනිටුහන් කෙරෙන අතර, එමගින් දෙරට අතර පවත්නා ඓතිහාසික, සංස්කෘතික සහ උපායමාර්ගික සබඳතා අවධාරණය කරනු ලබයි. තවද, සමෘද්ධිමත් සහ සුරක්‍ෂිත ඉන්දියානු සාගර කලාපයක් සඳහා වන දෙරටේ නායකයින්ගේ පොදු දැක්ම මේ ඔස්සේ තහවුරු වේ."

කොළඹ වරාය වෙත ළඟා වී ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් 'Indian Naval Ship Sahyadri' නෞකාවේ පසුගිය ඉරිදා (අප්‍රේල් 06) දින සිදුකල නිළ සංචාරය අතරතුරදී, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) එලෙස ප්‍රකාශ කළේය.

නෞකාව වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් රජත් කුමාර් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගී විය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර ප්‍රකාශ කළේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ සැලකීමේදී ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගිකව ඉතා වැදගත් වන බවත්, කලාපිය වශයෙන් ඇති වන ආරක්‍ෂක අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සාමුහික ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය වන බවත්ය. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා මෙන්ම, දෙරටේ මුහුදු සිමාවන් හා ඉන් ඔබ්බට විහිදුනු සාගර කලාපය ආශ්‍රිතව ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඉන්දියාවේ නොසැලෙන සහයෝගය බෙහෙවින් අගය කරන බවද, ඔහු තවදුරටත් පැවසීය.

එමෙන්ම, විවිධ යටිතල පහසුකම් සංවර්ධනය, ධාරිතා ගොඩනැංවීම සහ මානුෂීය මෙහෙයන් ආදී වශයෙන් ඉන්දියාව දක්වනු ලබන අඛණ්ඩ සහාය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන බවද, ඔහු සිහිපත් කළේය.

21 වන සියවසේ මතුවෙමින් පවතින විවිධ අභියෝග හමුවේ සමුද්‍රීය ආරක්‍ෂාව, මත්ද්‍රව්‍ය ජාවාරම්, ජාත්‍යන්තර අපරාධ සහ දේශගුණික විපර්යාස වැනි විශේෂිත ගෝලීය අභියෝගයන්ට මුහුණදීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කල යුතු බවද, ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ සන්ධ්‍යාවේ ඉන්දීය නෞකාවේ පැවති මෙම අවස්ථාවට යුද හමුදාපති, නාවික හමුදාපති, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය, රුසියාව සහ බංග්ලාදේශය යන රටවල මෙරට තානාපති කාර්යාල නියෝජනය කරමින් ආරක්‍ෂක උපදේශක නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.