ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

අප්‍රේල් 09, 2025

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Paul Stephens මැතිතුමා පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 8) දින කොළඹ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.

මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගී විය. මෙම හමුවට සමඟාමිව සුහදශීලී සහ ඵලදායී සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර, මෙම හමුව ඔස්සේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබිඹු කරයි.

සාකච්ඡාව අතරතුර, දෙපාර්ශ්වයටම අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබූ අතර, විශේෂයෙන් ආරක්‍ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් හුවමාරු කර ගත්හ. එහිදී ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා මෙන්ම, මෙරට ත්‍රිවිධ හමුදාවන්ගේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය වෙත නොගැඹුරු මුහුදේ නිරීක්‍ෂණ කටයුතු සඳහා අති නවීන Shallow Water Multi - Beam Echo Sounder යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම තුළින් ඕස්ට්‍රේලියානු රජය විසින් මෙරටට ලබාදුන් අගනා දායකත්වය වෙනුවෙන් මේජර් ජෙනරල් ජයසේකර සිය ප්‍රශංසාව පළ කළේය. මෙම නුතන තාක්‍ෂණික උපකරණය මගින් ශ්‍රී ලංකාවේ වරායන්, වෙරළබඩ ප්‍රදේශ මෙන්ම, උපායමාර්ගික වශයෙන් වැදගත් ජල මාර්ග වල මිනුම් කටයුතු සිදු කිරීමට ඇති හැකියාවන් වර්ධනය කෙරෙන බවත්, එමඟින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සහ කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය ඇති කිරීමට දායක වන බවත්, ඔහු සඳහන් කළේය.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීම, සමුද්‍රීය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම, පුහුණු හුවමාරු වැඩසටහන් සහ ධාරිතා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මුලපිරීම් වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මුලපිරීම් සඳහා දෙපාර්ශ්වයේම කැපවීම යළි තහවුරු කරමින් සාකච්ඡාව අවසන් විය.