2025 – 2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැළැස්ම දියත්කිරීමේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය එක් වෙයි

අප්‍රේල් 09, 2025

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ "2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැළැස්ම දියත්කිරීමේ උත්සවය", අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 09) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ප්‍රධාන උත්සවයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) හර්ෂ විතානආරච්චි මහතා, අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති) ගාමිණී මහගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම, කාර්ය මණ්ඩල සාමාජිකයින් උත්සවයේ සජීවී විකාශනය හා සම්බන්ධවීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයට රැස් වූහ.

මෙරට පරිපාලන යාන්ත්‍රණය තුල දූෂණය තුරන් කිරීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් මෙම ක්‍රියාකාරී සැළැස්ම දියත්කිරීමේ අවස්ථාව සනිටුහන් කෙරේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ කොමිසමේ කාර්ය භාරය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට කටයුතු යොදා ඇත. අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශනය කිරීම සහ නඩු පැවරීමට අමතරව ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ අධීක්‍ෂණය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සතු කාර්ය භාරයකි.

අද දින දියත් කෙරුණු මෙම පුළුල් පස් අවුරුදු සැළැස්ම, රජය විසින් ක්‍රියාත්මක "Clean Sri Lanka" වැඩසටහනට මූලික අඩිතාලමක් සපයනු ලබන අතර, එමගින් රාජ්‍ය සේවයෙහි සියලු මට්ටම්වල සාමාජිකයන් තුල අඛණ්ඩතාව සහ විනිවිදභාවය පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීම අරමුණු කරයි. මෙම මුලපිරීම මඟින් ශ්‍රී ලාංකික සමාජය උසස් සදාචාරාත්මක චර්යා රටාවක් දක්වා ඔසවා තැබීම, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සහ රාජ්‍ය නිලධාරීන් තම සේවයට වගවීම සහතික කිරීම අපේක්‍ෂා කෙරේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය ද අනෙකුත් රාජ්‍ය ආයතන සමඟින් එක්ව ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් ශක්තිමත් කිරීමට සහ පොදු ජනයාගේ සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය යළි තහවුරු කළේය.