මිලියන 600 ක් වටිනා මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව විසින් ව්‍යර්ථ කරන ලදී

ජනවාරී 04, 2021

දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශය හරහා සිදුකල මත්ද්‍රව්‍ය ජාවාරමක් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව රු. මිලියන 600 ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අද (ජනවාරි 4) දින අත්අඩංගුවට ගන්නා ලදී.

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් නවයක සුක්ෂමව සැගවූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

මෙම මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම සඳහා භාවිතා කරන ලද බහු දින ධීවර යාත්‍රාව ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශ, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගීත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යර්ථ කිරීම සදහා මෙම මෙහෙයුම සැලසුම් කරන ලදී.

හලාවත තෝඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම විශේෂ මෙහෙයුම සිදුකල බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.