දිවයිනේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා යුධ හමුදාව නව බලකායක් පිහිටුවයි

ජනවාරී 08, 2021

යුද හමුදාපතිගේ සංකල්පයක් වන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට අනුව රටේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම උදෙසා ‘යුධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකාය’ ඊයේ (ජනවාරි 07) දින යුධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක‍ මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදි.  

අතිගරු ජනාධිපතිතුමන්ගේ ජාතික ප්‍රතිපත්තියට අනුව ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ක්‍රමවත් උපාය මාර්ගික සැලැස්මක් ඔස්සේ නවීන තාක්‍ෂණය හා දැනුම උපයෝගීකර ගනිමින් රටේ කෘෂි නිෂ්පාදන ඉහල නංවමින් කෘෂි ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ යාන්ත්‍රණය ක්‍රමවත්ව හැසිරවීම සඳහා මෙම බලකාය ස්ථාපිත කර ඇත.

යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කදනආරච්චිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක මෙම බලකාය බලඇණි 5 කින් යුක්ත වන අතර, එක් බලඇණියක් නිලධාරින් 28 දෙනෙකුගෙන් හා සෙසු නිලයන් 725 දෙනෙකුගෙන් සමන්විත වේ.

දැනටමත් අම්බලන්ගොඩ, කන්දකාඩු සහ නොච්චියාගම ප්‍රදේශවල බලඇණි 3 ක් ස්ථාපිත කර ඇති අතර, තවත් බලඇණි දෙකක් නුදුරේදී ස්ථාපිත කිරීමට යෝජිතය.

යුධ හමුදාව මගින් දිවයින පුරා ගොවිපොළවල් සහ කෘෂි ව්‍යාපෘති රැසක් පවත්වාගෙන යනු ලබන අතර, ඉදිරියේදී කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, ශීතාගාර පහසුකම් ඇති කිරීම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය දියුණු කිරීම සහ ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම වැනි දෑ සැලසුම් කර ඇත.