ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි අපේක්‍ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ජනවාරී 14, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (ජනවාරි 14) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් විට වැසි ඇතිවිය හැකි බවයි. මිලිමීටර 50 ට වඩා තරමක් තද වැසි සමහර ප්‍රදේශවලින් අපේක්ෂා කළ හැකිය.

අනෙකුත් ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත  වැසි ඇති වේ. මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි සමහර ස්ථානවල අපේක්ෂා කළ හැකිය. දකුණු පළාතේ ද උදෑසන වැසි අපේක්ෂා කළ හැකි බව වාර්තාවේ දැක්වේ.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

සමුද්‍රීය  කාලගුණ වාර්තාවට අනුව  දිවයින අවට මුහුදු ප්‍රදේශයේ  ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පුත්තලම සිට හම්බන්තොට දක්වා කන්කසන්තුරෙයි සහ ත්‍රිකුණාමලය හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිගින් හෝ නැගෙනහිරින් වන අතර සුළගේ වේගය පැයට කි.මී. 30-40 කි. දිවයින අවට ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට වෙනස්  වන අතර සුළං වේගය පැයට කි.මී. 15-25 කි. පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා කන්කසන්තුරෙයි හරහා මුහුදු ප්‍රදේශවලට වරින් වර සුළගේ වේගය කිලෝමීටර 50 ක් දක්වා වැඩි විය  හැකිය.

පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා කන්කසන්තුරෙයි හරහා විහිදෙන මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළු විය හැකිය. දිවයින අවට ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින අවට මුහුදු ප්‍රදේශ වල තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර, සමහර ප්‍රදේශවල මුහුද රළු ස්භාවයක් අපේක්‍ෂා කළ හැකි බව වාර්තාවේ සඳහන් වේ.