ඊයේ දිනට 649 ක් සම්පූර්ණ සුවය ලබයි

ජනවාරී 19, 2021

අද (ජනවාරි 19) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 53,749 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සිටින අතර,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 54 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 165 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 197 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 211 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 19) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 49,879 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 43,062 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (18) දින තවත් PCR පරීක්ෂණ 14,984 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන විදේශ රටවල සිට මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 94 ක් වන අතර, ඒ අතුරින් 22 දෙනෙකු කටාර් සිට, 33 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සහ 39 දෙනෙකු චීනයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 649 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 45,819 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,660 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 92 ක් යටතේ පුද්ගලයින් 8,198 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 06ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් තිබේ.