කොරෝනා වසංගතයට එරෙහි දෙවන මානුෂීය මෙහෙයුම

මාර්තු 30, 2021

සඳුන් ගුණවර්ධන LL.B (Colombo), LL.M (KDU) & Attorney at Law

ලොව පුරා මිනිස් ජීවිත අකාලයේ අහිමි කළ කොරෝනා වසංගතය ලොව දියුණුයැයි සම්මත ප්‍රබල රාජ්‍යයන් පවා නොසිතූ පරිදි අසීරුතාවයන්ට පත් කරන ලදි. ඇමරිකාව, ඉතාලිය, එක්සත් රාජධානිය, ප්‍රංශය වැනි රටවල් මළමිණී පිරුණු අමු සොහොන් බවට පත්වෙද්දී කුඩා රටක් ලෙස එය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ‌ආරක්‍ෂක අංශ සෞඛ්‍ය අංශ සමඟ එක්ව කටයුතු කරමින් ‌මුළු මහත් ලෝකයාටම නව්‍ය ආරක්‍ෂණ සැලැස්මක් හඳුන්වා දෙනු ලැබීය.

කොරෝනා වසංගතය මැඩලීමට යුද හමුදාව මැදියත් වී ඇත්තේ කුමන පදනමක් මතදැයි ඒ සම්බන්ධයෙන් හමුදාපතිතුමන් විසින් ප්‍රකාශ නිකුත් කරන්නේ මන්දැයි මෑතකදී ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රශ්න කරනු දක්නට ලැබුණි. එබැවින් මෙම කර්තව්‍යයේ නිත්‍යානුකුලභාවය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම කාලීනව වැදගත් අවශ්‍යතාවයකි.  

රටේ ජනාධිපතිතුමන් සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා බව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අනාවරණය කරන අතර, හදිසි අවස්ථාවකදී හෝ මොහොතකදී ජන ජීවිතයට අත්‍යවශ්‍ය යුදමය නොවන සේවා හා සැපයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් සිවිල් සේවාවන් සිදුකිරීමට ත්‍රිවිධ හමුදාවන් කැඳවීමට රටේ ජනාධිපතිවරයාට යුද, නාවික හා ගුවන් හමුදා පනත් ප්‍රකාරව බලය හිමිවේ.

මෙය 1949 අංක 17 දරණ යුද හමුදා පනතේ 19(1) (ආ) හා 23 යන වගන්ති එක්ව කියවීමෙන් මෙම බලය රටේ ජනාධිපතිතුමන් හට හිමිවන බව මනාව පැහැදිලි වේ. මීට සමාන නෛතික විග්‍රහයක් 1949 අංක 41 දරණ ගුවන් හමුදා පනතේ 19 හා 23A වගන්ති එක්ව කියවීමෙන්ද 1950 අංක 34 දරණ නාවික හමුදා පනතේ 16 හා 21 වගන්ති එක්ව කියවීමෙන් විග්‍රහ කරනු ලබයි.

තවද ජාතික ආරක්‍ෂාව යනු යුදමය වශයෙන් ජාතියකට එල්ලවන තර්ජනයක් වශයෙන් පටුව සැලකිය හැකි කරුණක් නොවේ. එය මෙතෙක් කිසිදු නීතියක් මගින් අර්ථ නිරූපණයකට ලක්වී නොමැති නමුත් එය ඉතා පුළුල්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රකාරව අර්ථ නිරූපණයට ලක්විය යුත්තකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රක සමාජවාදී ජන රජයේ ඒකීයභාවය, නිදහස, ස්වෛරීභාවය, ස්වාධිනභාවය, ප්‍රජාතාන්ත්‍රිකභාවය, සමාජවාදීභාවය, පරමාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාවය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඊට අනුකූලව නීත්‍යාණුකූලව හදුනාගත් නීතීන්ද ආරක්‍ෂා වන පරිදි මහජනතාවට හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ දේශ සිමාවන් තුළට නීත්‍යානුකූලව ඇතුලුවූ විදේශිකයින්ටද සාමකාමීව හා නිදහසේ බියෙන් සැකයෙන් හා පීඩනයෙන් තොරව ජීවත්වීම උදෙසා සුරක්ෂිත කොට තහවුරු කිරීම ජාතික ආරක්‍ෂාව යනුවෙන් අර්ථ නිරූපණය කළ හැකියි.

පොලිස් රාජකාරි ක්‍රියාත්මක කරමින් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ රාජකාරි වලට පවා හමුදාවන්හි සහයෝගය ලබාගැනීම මෙන්ම එවැනි රාජකාරි සඳහා හමුදාවන්ගේ මැදිහත්වීම රටේ අපරාධ නීතියෙන් පවා පිළිගෙන ඇති බව නිරීක්‍ෂණය වන අවස්ථාද දක්නට ලැබේ. නිදර්ශනයක් ලෙස 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහහයේ 95(3), 96 , 97(2) (අ) සහ 97(2)(ආ) යන වගන්ති මගින් නීතිවිරෝධී රැස්වීම් විසුරුවා හැරීම් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවන් කැඳවීම, ත්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ සේවය ලබාගැනීම, මහජන ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් වන එවැනි අවස්ථාවකදී හමුදාවක වගකීම හා මැදිහත්වීමේ ක්‍රියාපිළි‌වෙත සම්බන්ධයෙන් විධිවිධානද, එවැනි ක්‍රියාවකදී සත්භාවයෙන් ක්‍රියාකරන හමුදා සාමාජිකයින්ට නීතියෙන් පවතින රැකවරණය පිළිබඳවද විග්‍රහ කිරීම පෙන්වාදිය හැකියි.

මීට අමතරව අවශ්‍ය නම් මහජන ආරක්‍ෂක ආඥා පනතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් කලින් කලට සකස් කරනු ලබන රෙගුලාසි මගින්ද අමතර බලතල ආරක්‍ෂක හමුදාවන් වෙත ලබාදිය හැකියි.

එනම්, ‘හමුදාව පවත්වාගෙන යනු ලබන්නේ යුදමය රාජකාරි සඳහා පමණක්ය යන්න’, නීතිය පිළිබඳ හා හමුදා රාජකාරි පිළිබඳව අවබෝධයක් නොමැති පාර්ශවයන්ගේ නිසරු නිශ්ඵල නිරර්ථක ප්‍රකාශයක් පමණි.

මෙවැනි කාර්යකදී වෙනත් රාජ්‍ය සේවකයින් අභිබවා හමුදාවන් කැඳවන්නේ මන්දැයි යමෙකු හට ගැටලුවක් මතුවිය හැකිය. ඕනෑම අවස්ථාවකදී ඕනෑම කාර්යක් සඳහා පුහුණු ශ්‍රමිකයින් සැපයිය හැකි එකම රාජ්‍ය නිලධාරී කොට්ඨාශය වන්නේ හමුදාවන්ය. හමුදාවක් පුහුණු වෛද්‍යවරුන්ගෙන්, ගණකාධිකාරීවරුන්ගෙන්, නීතීඥ වරුන්ගෙන්, ඉංජිනේරුවන්ගෙන්,  ආහාර නිශ්පාදකවරුන්ගෙන්, කලාකරුවන්ගෙන්, සංගීතඥයින්ගෙන්, හෙද/හෙදියන්ගෙන් හා දිය ගොඩ හා අහස් කුස ජීවිත ආරක්‍ෂණයේ නිපුණ හැකියාවන්ගෙන් සැදුම්ලත් දක්‍ෂ පරිණත පිරිසකින් සැදුම්ලත් ආයතනයක් වන අතර, හමුදා නීතිය ප්‍රකාරව ඔවුන් මනා සන්යමයෙන් හා විනයෙන් යුක්තව මෙහෙයවිය හැකි පරිපාලන නිලධාරීන්ගෙන්ද සැදුම්ලත් ආයතන ව්‍යුහයකි.

තවද හමුදාවන් යනු පැය විසිහතර පුරා සේවයට කැපවී ඇති පිරිසක් වන අතර, ඔවුන් රටේ සාමාන්‍ය නීතියට අමතරව විශේෂ හමුදා නීති‌‌‌යෙන්ද පාලනය වන විනයෙන් හා කැපවීමෙන් යුක්ත ද්විත්ව නෛතික පුද්ගල කොට්ඨාශයක් (Dual Legal Personality) වන අතර, ඔවුන්ගේ සුවිශේෂි හැකියාවන්, කැපවීම හා කාර්යක්‍ෂමතාවයට කිසිවෙකුට හෝ අභියෝග කළ නොහැකි අතර, ස්වකීය විවිධ කේෂත්‍රයන්හි ප්‍රවීණ භටපිරිස් යොදා ගනිමින් ඕනෑම කටයුත්තක් හමුදාවන් යොදා සිදුකිරීමට ස්වයං ශක්තියක් හමුදාවකට ඇත.

එබැවින් මෙවැනි ව්‍යසනයකදී බොහෝ පාලකයින් හමුදාවන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්හට ජනතාව එවැනි ව්‍යසනයන් තුළින් මුදවා ගැනීමේ උත්තුංග රාජකාරී නියම කිරීමට පෙළඹීම ලොව පුරා රටවල දක්නට ලැබෙන දසුනකි. තවද එය නීතියේ නියම කිරීම් මත පදනම්වූ නීත්‍යාණුකූල ක්‍රියා පිළිවෙතක් බවද අප සියලු දෙනා විසින් වටහා ගත යුතුවේ.

(විවිධ සම්පත් දායකයින් විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂාංග ලිපිවල අන්තර්ගතයන් පිළිබඳ මෙම අමාත්‍යාංශය වගකීමට නොබැඳේ)