ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරී හෝන් පාලනයට දැඩි නීති

අප්‍රේල් 06, 2019

අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්‍ෂක ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවති සාකච්ඡාවේදී ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පති තුමාට උපදෙස් ලබාදුනි. මෙහිදී පරිසර දුෂණයේ අංගයක් වන ශබ්ද දූෂණය මැඩලීමටත් අනාගතයේදී සංවර්ධිත විනය ගරුක රටක් බිහිකිරීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීනව ගතයුතු තීන්දු තීරණ මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

විවිධ නාද රටා සහිත රථවාහන සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට.

විවිධ ලයිට් (ආලෝක රටා සවිරාම බල්බ්).

අප්‍රේල් මස 05 දින පැවති සාකච්ඡාවේ දී රථවාහන නීති උල්ලංගනය සහ ඩෙසිබල් 105 ට වඩා වැඩි නලා සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අජිත් රෝහණ මහතාට දැනුම් දෙනු ලැබීය. මීට අමතරව රටේ සියලුම පාසල් සිසුන්, සියලුම මගීන් සහ රියදුරන් සම්බන්ධ කරගනිමින් නිශ්ශබ්දතා දිනයක් (Silent Day) ප්‍රකාශයට පත්කිරීමට ද මෙහිදී සාකච්ඡා විය.

මෙම සාකච්ඡා‍වේ විශේෂත්වය වනුයේ මේ සඳහා පැමිණි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සියල්ලම සහ සියලුම ආයතන නීති රිති ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ඵල කිරීමයි. මෙම සාකච්ඡාව සඳහා පොලිස්පති තුමන්, ආනයන අපනයන පාලක, ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවහන අධිකාරිය, ජාතික ප්‍රවාහන කොමිසම ඇතුළු ආයතන 22 ක නියෝජිතයන් එක්ව සිටියහ.

සුරකිමු ශ්‍රී ලංකා සභාපති පාහියන්ගල ආනන්ද හිමියන් ද මෙම සාකච්ඡාවට වැඩම කළහ.