රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

අප්‍රේල් 04, 2019

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ යන නෞකාව දින දෙකක සුහද සංචාරයක් සඳහා බදාදා (අප්‍රේල් 03) දින දිවයිනට සේන්දු වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

කොළඹ වරායට පැමිණි එම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
දිගින් මීටර් 136 ක් වන නෞකාව, නිලධාරීන් 28 දෙනෙකුගෙන් සහ නාවිකයන් 208 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. මෙම නෞකාවෙහි නැව් මුළුව දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.

මෙම නෞකාව එළඹෙන සෙනසුරාදා (අප්‍රේල් 06) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.