අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් පණිවිඩය

මැයි 13, 2021

රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් ෆිතර් මංගල්‍යයට ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව  එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවය. එකී යහපත් සියලූ ප්‍රාර්ථනා ඉටු වේවා යි ඊදුල් ෆිතර් මංගල්‍යය වෙනුවෙන් මම සුබ පතමි.

උස් පහත් භේදයකින් තොරව සියල්ලෝ එක්ව රාමසාන් සමය ගත කොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුව ද එහි සාමාජීය අර්ථය ද අගනේය. රාමසාන් සමය පවිත්‍ර ජීවිත සේම ආත්ම දමනය හුරුවීමට ඇති වටිනා අවස්ථාවක් ලෙස ඉස්ලාම් භක්තිකයෝ සළකති. වැඩිහිටියන් විසින් ගත කරන එම රාමසාන් සමය දූ දරුවෝ ආභාෂ කොට ගනිති.

වර්තමානයේ ලෝකයට මුහුණ දීමට සිදුව ඇති කොවිඩි ව්‍යසනයෙන් ලෝ වැසි ජනතාව නිදහස් කර දෙන්නැයි යන ප්‍රාර්ථනය ද අපේ ඉස්ලාම් භක්තිකයන් තුළ වන්නට ඇත. මුළු මහත් ජනතාවගේ ප්‍රාර්ථනයත් කැපවීමත් පවතින වසංගතයෙන් නිදහස් වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකි. රාමසාන් සමය ඒ සදහා ඉවහල් කර ගැනීම අගනේය.

සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන් වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයකි. ශුද්ධ වූ අල් කුරානය අදහන සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගේ සාමූහික කැපවීමත්, අධිෂ්ඨානයත් ඒ සඳහා තව තවත් යොමු වනු ඇතැයි විශ්වාස කරමි.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් සමග අපේ මුස්ලිම් බැතිමතුන් එක්ව සමරන ඊදුල් ෆිතර් උත්සවය ප්‍රීතිමත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි.

ඊද් මුබාරක්!

ගෝඨාභය රාජපක්ෂ

2021 මැයි මස 13 වන දින

 

උපුටා ගැනීම - www.pmdnews.lk