ගුවන් හමුදාව 'ඔක්සිජන් චිකිත්සා ඒකක' නිපදවයි

මැයි 15, 2021

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදි.

පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.

සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර, විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් මෙම උපකරණයක් නිෂ්පාදන කර ඇත.

දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.