වාර්ගික සංහිඳියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාව විසින් පාපන්දු තරගාවලියක් සංවිධානය කරයි

අප්‍රේල් 02, 2019

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය (SFHQ-E) විසින් පසුගියදා අන්තර් ලීග් පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම 'නැගෙනහිර ආඥාපති ශුරතා කුසලාන' පාපන්දු තරගාවලිය පසුගිය ඉරිදා (මාර්තු 31) දින මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

නැඟෙනහිර පළාතේ පාපන්දු කණ්ඩායම් 9 ක් සහභාගී වූ මෙම තරඟාවලියෙහි මුලික තරඟ මාර්තු මස 10 වැනිදා සිට ආරම්භ විය. මෙහි අවසන් මහා තරඟය මඩකළපුව ක්‍රිඩාංගණයේ දී පැවැත්වූ අතර 'නැගෙනහිර ආඥාපති ශුරතා කුසලානය' මඩකලපුව පාපන්දු කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ජයග්‍රාහි කණ්ඩායම වෙත ශූරතා කුසලානය සහ මුදලින් රු. 75,000.00 ක ත්‍යාගයක් හිමිවිය. මීට අමතරව අනුශුරතාවයට සහ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයන් වෙත සහතිකපත් සහ මුදල් ත්‍යාග ද පිරිනමන ලදී.

දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් අම්පාර පාපන්දු කණ්ඩායම සහ ත්‍රිකුණාමලය කින්නියා පාපන්දු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

පසුගිය ඉරිදා පැවති අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වූ අතර එතුමන් අතින් ජයග්‍රාහකයන් වෙත කුසලානය හා සහතික පත් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ගෞරවනීය පූජ්‍ය පක්ෂය, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.

නැගෙනහිර පළාතේ ජිවත්වන සියළුම ජනවර්ග වලට අයත් ක්‍රීඩකයින් ඔවුන්ගේ වාර්ගික සංහිඳියාව, අනෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය හා සාමකාමී සහජීවනය සංකේතවත් කරමින් එකම ක්‍රීඩාංගනයක ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.