ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට වැඩ අරඹයි

මැයි 18, 2021

ආරක්‍ෂක අමාත්‍යංශය, අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත කිරීම අද (මැයි 18) දින සුබ මොහොතින් සිදුකෙරෙණි.

12 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සංවිධානය කරන ලද මෙම අවස්ථාවේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදි. නව ස්ථානයේ වැඩ ආරම්භ කිරිම සංකේතවත් කරමින් නිල ලේඛණයක් අත්සන් තබන ලදි.

රණවිරුවන්ගෙන් යැපෙන්නන් සඳහා ජීවිත කාලය පුරාම වැටුප් හා දීමනා ගෙවීම සඳහා මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද කැබිනට් අනුමැතිය සහිත ලියකියවිලි ඉදිරි කටයුතු සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට භාර දුන්නේය.

මේ අතර, විශ්‍රාමික රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශයක් ඇති කරමින්, ඔවුන්ගේ දරුවන් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ද අනුමැතිය ලබා දෙන ලදි.   

මෙම සුවිශේෂී දිනයේදී එය අපගේ රණවිරුවන් හට කරන ලද උපහාරයක් බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

නව බලාපොරොත්තු පලකරමින් ඔහු තවදුරටත් කියා සිටියේ මෙම නව සේවා ස්ථානය රටේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා වන විශාල ඉදිරි පිම්මක් වනු ඇති බවය.

නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ප්‍රධාන දොරටුව අභියස කිරි උතුරවා නව ගොඩනැගිල්ල තුළ රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරන ලදි.

යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල, අතුරුදහන් වූ සහ ආබාධිත වූ සෙබළුන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් හට ආශිර්වාද හා සෙත් පැතීමද මෙහිදී  සිදුකෙරිණි.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ජීවිත කැප කළ හා ආබාධිත වූ යුද විරුවන් වෙනුවෙන් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් දේශණාවක් ද නව පරිශ්‍රය තුල අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

විශේෂ ආරක්‍ෂක විධිවිධාන අනුව නිමවා ඇති මෙම නව පරිශ්‍රය තුළ මෙතෙක් වෙන් වෙන්ව පැවති අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන සඳහා ද ඉඩපහසුකම් ලබා දී ඇත.  

ඉදිරියේදී ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය තුළ ගුවන් සහ නාවික හමුදා මූලස්ථානයද පිහිටුවීමට නියමිත අතර දැනටමත් ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයද සමග එය දිවයිනේ විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස සැලකේ.

අති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුලු මහා සංඝ රත්නය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා සභාපතිනි චිත්‍රානි ගුණරත්න, විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික), ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක සහ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.