ගිනිගත් නෞකාවෙන් ඇතිවන සමුද්‍රීය හානි අවම කිරීමට පියවර

මැයි 27, 2021
  • සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදෙයි.
  • නෞකාවෙන් පාවී එන කිසිදු ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

ආපදාවට පත් X-PRESS PEARL නෞකාව මඟින් සාගර පරිසරයට සහ වෙරළ තීරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ජනාධිපතිතුමන් උපදෙස් පරිදි ආරක්‍ෂක හමුදා, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ අනෙකුත් වගකිව යුතු රාජ්‍ය ආයතන කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව වෙරළ තීරයට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු ආරම්භ කර ඇත.

ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මේ වන විටත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් එම මුහුදු තීරය අවට ජල සාම්පල පරික්‍ෂණයට ලක්කර ඇති අතර නෞකාව හිමි රක්‍ෂණ ආයතනය සහ සෙසු පාර්ශවයන් සමඟ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.

නෞකාව අවට මුහුදේ තෙල් පැතිරියාමක් සිදුවුවහොත් පවතින කාලගුණ තත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමුකරන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී තිබේ.

ගින්න පාලනය කිරිම සඳහා දැඩි වෙහෙසක් ගෙන සිටින නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඊට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් වෙත ප්‍රශංසා කළ ජනාධිපති තුමන් වෙරළ තීරය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

තවද, ආපදාවට පත් නෞකාවේ සිට වෙරළට ගසා ගෙන එන ද්‍රව්‍ය විෂ සහිත වන බැවින් ඒවා ස්පර්ශ නොකරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය වෙරළබඩ ජීවත් වන ජනතාවට අනතුරු ඇගවිය.