රුපියල් මිලියන 8 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 02, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මිලියන 8කට වඩා වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ඊයේ (ජූනි 1) දින අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මුර සංචාරයක දී කිලෝ 29 ග්‍රෑම් 800 පමණ වන කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

උතුරු මැද නාවික විධානය මඟින් සිදුකළ විශේෂ මුර සංචාරයක දී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර එහි උර දෙකක් තුළ පාර්සල් 14 ක අසුරා තිබියදී මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම ඉලුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම මෙහෙයුම සිදුකර ඇති බව නාවික හමුදාව පවසයි.