සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සහන මිලට එළවළු මල්ලක්

ජුනි 02, 2021

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා  වැඩසටහනක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ආරම්භ කර ඇත.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන වලින් මිලදී ගන්නා ලද වියලි ආහාර ද්‍රව්‍ය හා එළවළු ඉතාමත් සහන මිලට මරදාන, බොරැල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප්‍රදේශයන්හි ජංගම රථ යොදා ගෙන අලෙවි කිරීම සිදුකරනු ලැබේ .

ඒ සමගම සුවඳ සුවඳැල්, බටපොල ඇල්, බාස්මතී, රත් කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා යන සහල් වර්ගද මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, ආර්ථික මධ්‍යස්ථාන වලින් තොග මිලට ලබා ගන්නා ලද එළවළු වර්ග මිල ගණන් යටතේම රුපියල් 500 ක් වැනි මිලකට සකස් කරන ලද එළවළු වර්ග 12 ක් ඇතුළත් සහන මල්ලක් ලෙස මිලදී ගත හැක.

මෙම ආහාර ද්‍රව්‍ය කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඉල්ලුම් කළ හැකි බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

          0740165006, 0740165042

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.