නායයෑම් වලින් විපතට පත්වූවන් බේරා ගැනීමට යුද හමුදා මෙහෙයුම්

ජුනි 05, 2021

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී සිදුවූ නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අතුරුදන් වූ පවුලක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ජුනි 5) දින මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.

එහිදී, පස් කන්දකට යටව ජීවිතක්‍ෂයට පත්ව සිටි 23 හැවිරිදි තරුණියකගේ මළසිරුර සොයාගෙන මාවනැල්ල රෝහලට භාරදීමට 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කටයුතු කළ බව යුද හමුදාව පවසයි.

දැනට අතුරුදන්ව සිටින එම පවුලේම 57 හැවිරිදි පියා, 56 හැවිරිදි මව සහ 29 හැවිරිදි පුතා සෙවීමේ කටයුතු ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව භටපිරිස් විසින් මේ වන විටත් සිදුකරමින් පවති.

මේ අතර, වරකාපොල අල්ගම ප්‍රදේශයේ පස් කන්දකට යටවී ජිවිතක්‍ෂයට පත්ව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද යුද හමුදාව විසින් සොයා ගෙන ඇත.

ඔහුගේ මෘතදේහය වරකාපොල රෝහල වෙත භාරදී ඇති අතර, එම පවුලේ අනෙක් සාමාජිකයින් ආරක්‍ෂත ස්ථානයකට යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.