2022 දී බිම් බෝම්බවලින් නිදහස් රටක්

ජුනි 16, 2021

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය, 2022 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් බවට පත් කිරීමේ අපේක්‍ෂාවෙන් කාර්යක්‍ෂමව බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යභාරයේ යෙදී සිටියි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර සහ භූමි අණදෙන නිලධාරීන් එක්ව දැනට ක්‍රියාත්මක වන බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් කිලිනොච්චි, මුලතිව්, මුහමලෙයි සහ පලාලි යන ප්‍රදේශවල, ජුනි 12 සහ 13 යන දිනවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර, මෙහෙයුම් වල්දී ඇතිවන ප්‍රායෝගික කරුණු පිළිබඳව ද සාකච්ඡා කළහ.

රටේ ප්‍රමුඛතම බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය ලෙස, 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන එකම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය බව යුද හමුදාව පවසයි.

උතුරු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 1316.65 ක භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 886.19 ක පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත. අනෙකුත් සියලුම ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන / සංවිධාන මේ වනවිට වර්ග කිලෝමීටර් 417.12 ක පමණ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත.

ජාතික අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා තවත් වර්ග කිලෝමීටර් 13.34 ක පමණ භූමි ප්‍රමාණයක් ඉතිරිව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය විසින් මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී පුද්ගල නාශක බිම්බෝම්බ 99,727 ක්, යුද ටැංකි නාශක බෝම්බ 223 ක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය 42,919 ක් සොයා ගෙන ඇති බව යුද හමුදාව තවදුරටත් පවසයි.

Sinhala.