හිටපු ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සිරිල් රණතුංග (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ජුනි 17, 2021

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවුකීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ජෙනරල් එස්. සිරිල් රණතුංග (විශ්‍රාමික) බදාදා (16) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 91 වන වියේ පසුවූයේය.

වර්ෂ 1980 දශකයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේනාංකාධිපතිවරයෙක් මෙන්ම, ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි යන ප්‍රධාන තනතුරු රැසක් හෙබවු ජෙනරල් සිරිල් රණතුංග ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ,පැපුවා නිව්ගීනියාවේ සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාමහ කොමසාරිස්වරයා ලෙස ද සේවය කළේය.එමෙන්ම,විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ද ජෙනරල් සිරිල් රණතුංග සේවය කළේය.

වර්ෂ 1971ඇතිවු කැරැල්ල ආරම්භයේදී ගුරුනගර් ප්‍රදේශයේ බෙදුම්වාදී සටන්කරුවන් වර්ධනයවීම වැළැක්වීමට ක්‍රියාකාරීව දායක වූ ජෙනරල් සිරිල් රණතුංග දක්‍ෂ හමුදා නායකයෙකු ලෙස විශිෂ්ඨ සේවා විභූෂණ(VSV) සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. මීට අමතරව, මව්බිම වෙනුවෙන් කරනු ලැබු සේවය අගයමින් තවත් පදක්කම් රැසකින් ද හෙතෙම පිදුම් ලැබුවේය.

වර්ෂ 1977 ජනවාරි මාසයේදී ජෙනරල් සිරිල් රණතුංග යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් තනතුරට පත්වීම් ලැබු අතර වර්ෂ 1978 ජනවාරි මාසයේදී පනගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ආඥාපති ලෙස පත් කරන ලදී.වර්ෂ 1978 පෙබරවාරි මස 4 වන දින හෙතෙම බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබු අතර වර්ෂ1980 ජනවාරි මාසයේදී ජෙනරල් සිරිල් රණතුංග ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලෙස සේවය කිරීමට අමතරව ආධාරක බලකායේ ආඥාපති ලෙස ද පත් කරන ලදී. යුද්ධ හමුදා සුභසාධක අරමුදල පිහිටුවීමට ද හෙතෙම දායක වූයේය.

වර්ෂ 1982 පෙබරවාරි මාසයේදී ජෙනරල් සිරිල් රණතුංග ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය ආඥාපති ලෙස පත් කරන ලදී. එවකට උතුරේ ක්‍රියාත්මක වු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ජෙනරල් සිරිල් රණතුංග යාපනයේ යුද්ධ හමුදා බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරන ලදී. හෙතෙමවර්ෂ 1983 දී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබාගත්තේය.

විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරල් සිරිල් රණතුංග ගුවන් තොටුපල හා ගුවන් සේවා සභාපති ලෙස ද සේවය කළේය. වර්ෂ 1990 පෙබරවාරි මාසයේදී අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද හෙතෙම පත් කළ අතර වර්ෂ1993 අප්‍රේල් දක්වා එම තනතුරේ කටයුතු කළේය.

අභාවප්‍රාප්ත ජෙනරල් එස්. සිරිල් රණතුංගගේදේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ්-19 වෛරසය හේතුවෙන් නිකුත්කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පවුලේ සමීපතම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින දහවල් 12.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මූලාශ්‍රය : www.army.lk