අයෝග්‍යව ඇති යුද හමුදා වාහන ප්‍රතිනවීකරණය කෙරේ

ජුනි 17, 2021

අලුත් වාහන ගෙන්වීම සඳහා වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරමින් අයෝග්‍ය තත්ත්වයේ තිබූ යුද හමුදාවට අයත් වාහන සමූහයක් ප්‍රතිනවීකරණය කර ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඊයේ (ජූනි 16) දින යුද හමුදා මූලස්ථානයේදී එම වාහන පරික්ෂා කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භට පිරිස් විසින් සිය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් මෙම වාහන අලුත්වැඩියා කර ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජීප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් ඒ අතර වේ.

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.