සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හමුදා සහය

ජුනි 25, 2021

කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය (High Dependency Unit) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නවීකරණය කර සෞඛ්‍ය සේවය සඳහා ලබාදෙන ලදී.

අලුතින් එක් කරන ලද මෙම  විශේෂ ප්‍රතිකාර ඒකකය මගින් අවදානම් තත්ත්වයේ පසුවන ඔක්සිජන් චිකිත්සාව අවශ්‍ය රෝගීන් විසි දෙනකුට පමණ එකවර ප්‍රතිකාර කළ හැකි බව නාවික හමුදාව පවසයි.

ප්‍රතිකාර ලබන රෝගීන් අධීක්ෂණය කිරීමේ විශේෂ පහසුකම්ද මෙම ප්‍රතිකාර ඒකකය සතුව ඇති බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරයි.

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළ ඉල්ලීමකට අනුව නාවික හමුදාව විසින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූලික අනුග්‍රහයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කර ඇත.

2021මැයි මස 21 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉතා කෙටි කලකින් සම්පූර්ණ කර සෞඛ්‍ය සේවයට එක් කරන ලදී.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කළ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය, හිටපු වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, ජේෂ්ඨ නාවික හමුදා නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.