'මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය' අදයි

ජුනි 26, 2021

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය' සනිටුහන් කරමින් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන සඳහා පණිවිඩයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම තුළින් ජාතික ශ්‍රම බලකාය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

වත්මන් තරුණ හා ළමා පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා ස්වකීය දරුවන් කෙරෙහි අවධානය, ආදරය සහ ඇගයීම වෙනදාටත් වඩා ඔවුන් වෙත ප්‍රදානය කරන ලෙස ජනාධිපතිතුමන් ඉල්ලා සිටින ලදී.

මේ අතර, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පණිවිඩයේ සඳහන් කරමින් කියා සිටියේ 'සෞභාග්‍යයේ දැක්ම'  ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මතින් තොර රටක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බවයි.

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය  ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා සිය පණිවිඩයේ සඳහන් කර සිටියේ 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව රට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුයේ මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම්  ලෝකයේ මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන අතර ඒ හේතුවෙන් මානව සෞඛ්‍ය, ආර්ථිකය මෙන්ම සමාජීය වශයෙන්ද මිනිසා ගෝලීය අර්බුදයකට ලක්ව ඇති බවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම'  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් මත් ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් වන රටක් බිහි කිරීමේ ජාතික වැඩසටහන යටතේ විවිධ දිශානතීන් ඔස්සේ එකී ගැටළුව පාලනය කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක වෙමින් පවතින බව ජෙනරල් ගුණරත්න සිය පණිවිඩයේ සඳහන් කරමින් පැවසීය.

නීතිය ක්‍රියාත්මක කිරීම, නිවාරණය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා පුළුල් කිරීම තුළින් මත්ද්‍රව්‍ය සැපයුම පාලනය කිරීම සහ මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම මගින් ආරක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීම රජයේ සමස්ත ඉලක්කය වන අතර රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකරනු ලබන, ඉලක්කය සපුරා ගැනීම සඳහා සාක්ෂි මත පදනම් වූ මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන් ප්‍රශංසනීය වේ.

මතින් නිදහස් ජාතියක්, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා මත්ද්‍රව්‍ය පිළිබඳ නිවැරදි කරුණු හුවමාරු කර ගනිමින් ජීවිත සුරකින්නට අවශ්‍ය සෑම ඵලදායි පියවරයන් උදෙසා සියලු පාර්ශවයන් ඒකාබද්ධ වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

මේ සඳහා සියලු ජාතික හා ජාත්‍යන්තර ආයතනය සම්බන්ධීකරණය කරමින් ජාතික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දායකත්වය ප්‍රශංසනීයව අගය කරන බව ඔහුගේ පණිවිඩය තවදුරටත් සදහන් වේ.