‘CARAT-21’ නාවික අභ්‍යාසයේ මුහුදු අදියර ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ

ජුනි 28, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳව පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ (CARAT-21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ‘සයුරළ’ සහ ‘ගජබාහු’ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘බෙල් 212’, ‘බෙල් 412’ හෙලිකොප්ටර් යානාද මෙම අභ්‍යාසයට සම්බන්ධ වූ අතර එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් ‘Littoral Combat Ship’ වර්ගයට අයත් ‘USS Charleston (LCS – 18)’ නෞකාව සහ එම නෞකාවට අයත් ‘MH – 60S’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සහභාගී වේ.

ඊට අමතරව, සමුද්‍රීය ආවේක්‍ෂණ අභ්‍යාස සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‘Boeing P-8A Poseidon’ වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවද එක් වූ බව නාවික හමුදාව පවසයි.

මෙහිදී, ජුනි මස 26 වන දින උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාස සහ රාත්‍රි නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාස යන නාවික අභ්‍යාස සිදු කෙරුණු අතර, ජුනි මස 27 වන දින නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස    සිදු කල බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව, ජුනි මස 27 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාව මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑමේ අභ්‍යාසය සඳහා ‘USS Charleston (LCS – 18)’ නෞකාවට අයත් ‘MH – 60S’ වර්ගයේ හෙලිකොප්ටර් යානාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ‘Bell 212’ හෙලිකොප්ටර් යානාව සහභාගී වූ අතර නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාසය සඳහා එක්වූ ‘USS Charleston (LCS – 18)’ නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ‘Bell 412’ හෙලිකොප්ටර් යානාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සයුරළ’ නෞකාව මතට ගොඩබෑම සිදු කරන ලදී.

තවද, ජුනි 28 සහ 29 දිනයන්හි පැවැත්වෙන සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ‘සයුරළ’ සහ ‘ගජබාහු’ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘B – 200’ වර්ගයේ නිරීක්‍ෂණ ගුවන් යානාවක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‘USS Charleston (LCS – 18)’ නෞකාව සහ ‘Boeing P-8A Poseidon’ වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාව සහභාගී වන අතර, මෙම මුහුදු අදියරේ ඉදිරි අභ්‍යාස සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ‘Destroyer’ වර්ගයට අයත් ‘JMSDF Yuugiri’ නොකාව සහ එම නෞකාවට අයත් ‘SH - 60J’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවද එක්වීමට නියමිතව ඇත.

මෙම බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සදහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් රැසක් හුවමාරු කර ගැනීමට මහඟු අවස්ථාවක් වන අතර අනාගත ක්‍රියාන්විතයන් සඳහා එය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය ජුනි මස 30 වනදා දක්වා පැවැත්වෙන අතර එය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව පවසයි.