නීති විරෝධී කහ තොගයක් මන්නාරමදී නාවික හමුදා භාරයට

ජුලි 02, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි 29, 30 සහ ජූලි මස 01 යන දිනවලදී මන්නාරම අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ජුනි මස 29 වන දින අච්චානකුලම් ප්‍රදේශයේදී කහ කිලෝ 601 ක් සහ ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ජුනි 30 වන දින සිදුකල වෙනත් මෙහෙයුමකදී නරුවිලිකුලම් වෙරළ තීරයේ ලඳු කැලෑවක් තුළ සඟවා තිබු ගෝනි තුල අසුරන ලද තවත් වියලි කහ කිලෝ 642 ග්‍රෑම් 700ක පමණ ප්‍රමාණයක් ද සොයා ගන්නා ලදි.

තවද ඊයේ (ජුලි 01) දින සවුත්බාර් කළපු ප්‍රදේශයේදී වෑන් රථයකට පටවමින් සිටි කහ කිලෝ 777 ක් සහ ග්‍රෑම් 600 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙහිදී අච්චානකුලම් වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මන්නාරම අරිප්පු ප්‍රදේශයේ පදිංචි එම සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කළ අතර, එම වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, නරුවිලිකුලම් වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ගන්න ලදි.

සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කහ තොගය, මන්නාරම ප්‍රදේශයේ පදිංචි එම සැකකරුවන් සිව්දෙනා සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදුන් බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම මෙහෙයුම් සිදුකල බව නාවික හමුදාව සඳහන් කරයි.