කොවිඩ් මර්දන ක්‍රියාන්විතය සඳහා ධර්ම විජය පදනමෙන් වෛද්‍ය උපකරණ තොගයක්

ජුලි 02, 2021

ඇමරිකාවේ පිහිටි ධර්ම විජය පදනම සහ බෞද්ධ විහාරය මගින් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 පාලනය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අංගෝපාංග තොගයක් ඊයේ (ජූලි 01) දින පරිත්‍යාග කරන ලදි.

එම සංගමයේ ප්‍රධානි සහ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද ස්වාමින් වහන්සේ විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත මෙම උපකරණ තොගය භාරදෙන ලදි.

ඒ අනුව, රුධිර ස්පන්දනය සහ හෘද ස්පන්දනය නිරීක්‍ෂණය කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර, ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර, ලීටර් 10 ඔක්සිජන් සාන්ද්‍රන මනින යන්ත්‍ර සහ රුධිර ඔක්සිජන් පරික්‍ෂණ යන්ත්‍ර ඇතුලත් මෙම වෛද්‍ය උපකරණ තොගයේ දළ වටිනාකම ඇමරිකන් ඩොලර් 20,000 ක් පමණ වන අතර මෙම වෛද්‍ය උපකරණ දිවයින පුරා පිහිටි රෝහල් 12 ක් අතර බෙදා හැර ඇති බව හමුදාව පවසයි.