නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු 442 දෙනෙකු නාවික හමුදා භාරයට

ජුලි 03, 2021

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටියදී පුද්ගලයින් 442 දෙනෙකු සහ බෝට්ටු 153 ක් ඇතුළු ධීවර උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවේ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මගින් අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා කාලය තුල සිදුකල මෙහෙයුම් මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් මූහුදු කූඩැල්ලන් ඇල්ලීම, අනවසර ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නියැලීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, තලෙයිමන්නාරම, පුත්තලම, හලාවත, මිගමුව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය, අනුරාධපුර, කෑගල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 16 ත් 60 ත් අතර පුල්ගලයින් බව හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඇතුළු භාණ්ඩ නීතිමය කටයුතු සඳහා කල්මුනේ, පොතුවිල්, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, කල්පිටිය, තලෙයිමන්නාරම, කිලිනොච්චිය, මන්නාරම, කුච්චවේලි, නිලාවේලි, යාපනය, පේදුරුතුඩුව, කරෙයිනගර් සහ පුත්තලම යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත් අඩප්පන් හා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙතත් භාරදී ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම මෙහෙයුම් සිදු කර ඇති බව නාවික හමුදාව පවසයි.