කිලිනොච්චියේ අවශ්‍යතා සහිත වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් නිවාස හයක්

ජුලි 03, 2021

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිලිනොච්චි හි අසරණ පුද්ගලයින් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභි පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නංවාලීම සඳහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දැනට නිවාස හයක් ඉදිකරමින් පවතින අතර එය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායකගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 11 වන ගජබා රෙජිමේන්තුව, 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන ඒකකයන්ගේ භට පිරිස් පරිත‍්‍යාගශීලීන්ගේද සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය සිදුකරන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.