උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව ජනපති අවධාරණය කරයි.

මාර්තු 18, 2019

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

උතුම් බෞද්ධ දර්ශනය විවිධ ලෙස අර්ථකථනය කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින අතර ඒ පිළිබඳ අදහස් දැක්වීමේ දී තමන්ට එරෙහි ව ප්‍රකාශ නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස මෙන් ම බෞද්ධයෙකු ලෙස බෞද්ධ දර්ශනයේ ආරක්ෂාව හා එය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව අවධාරණය කළේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය, නැවකඩ, උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (17) පස්වරුවේ එක්වෙමිනි.

උඩුබද්දාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නැවකඩ ගම්මානයේ මුදුන්මල්කඩ ලෙසින් හැඳින්වෙන නැවකඩ මහවැව අභියස පිහිටි සෙල්ගිරි විහාරය ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත පුණ්‍ය භූමියකි.

ස්වභාවික කළුගලින් නිමකර ඇති මෙම අලංකාරවත් සෙල් පිළිම වහන්සේ අඩි 56ක උසින් යුතු ය.

ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

අභිනව ප්‍රතිමා වහන්සේ වෙත පළමු මල් පූජාව සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

විහාරවාසී පූජ්‍ය ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් පිළිගැන්වීය.

අභිනව බුද්ධ ප්‍රතිමාවහන්සේ නිර්මාණය කළ දේශබන්දු සී.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා වෙත ද ජනාධිපතිතුමා අතින් සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

රාමඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ, විහාරාධිකාරි පූජ්‍ය ආලංකුලමේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කුලියාපිටිය, නැවකඩ, උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව (2019-03-17)

බෞද්ධ ඉතිහාසයත් බෞද්ධ සංස්කෘතියත් පිළිබඳව පුළුල් ශක්තිමත් පදනමක් තිබෙන මේ ඓතිහාසික කුරුණෑගල පුරවරයට පැමිණ මෙවැනි පුණ්‍ය කටයුත්තකට සහභාගීවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටුවෙනවා.

අප සියලු දෙනාට වගේම මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවටත් අන්‍ය ආගමිකභවතුන්ටත් මේ උතුම් ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගැනීමටත් දැක බලා ගැනීමටත් ලැබීම මම හිතන්නේ මහා පින්වන්ත කාර්යයක් ලෙසයි.

අපේ පූජ්‍ය ආලංකුලමේ පේමසිරි ස්වාමීන් වහන්සේ මෙම බුදුධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම සඳහා ඉතාමත් කැපවීමකින් ධෛර්යයකින් සහ උනන්දුවකින් කටයුතු කර තිබෙනවා.

මේ පුණ්‍ය කටයුත්ත කරන්න සූදානම් වුන දවසේ ඉඳලා ලැබුණු සහයෝගය, ආශිර්වාදය, පරිත්‍යාගය විඳින්නට සිදුවූ නින්දා අපහාස පිළිබඳව පූජ්‍ය ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ මෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවල දී සඳහන් කළා. මේ සියලු කටයුතුවලදී බෞද්ධයින් විදියට අපි විශ්වාසය තබන්නේ අටලෝ දහම පිළිබඳවයි. ලාභෝ අලාභෝ.. අයසො යසො ච.. නින්දා පසංසාච.. සුඛඤ්ච දුක්ඛං…

ඔබ වහන්සේ මෙවැනි පුණ්‍ය කටයුත්තකට මුල් වෙලා මේ ඓතිහාසික ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරලා දැක බලා ගැනීමට සැලසීමත් වගේම ඔබ වහන්සේට කොතෙක් නින්දා අපහාස ආවත් ඔබ වහන්සේගේ චිත්ත ධෛර්යය සකස් කරගෙන ඔබ වහන්සේ ලබාගත් මහා කුසල ධර්මය හේතුවෙන් ඔබවහන්සේට කිසි දෙයකින් අඩුවක් වන්නේ නැහැ. බෞද්ධයින් විදියට අපි දන්නවා බුදුන් වහන්සේ තරම් නින්දා අපහාස විඳි කෙනෙක් ලෝකයේ නැහැයි කියලා. අපි බෞද්ධ දර්ශනය පිළිපදින අය විදියට සැලෙන්න උවමනාවක් නැහැ.

පිරිහිලා තිබෙන සමාජයක අපි දකින සියලු ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ බුදුන් වහන්සේ දේශනා කළ උතුම් ථෙරවාද බෞද්ධ දර්ශනය තුළයි. අද මේ පුණ්‍ය කටයුත්තට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාව දානපතීන් පරිත්‍යාගශීලීන් සහය දුන්නා. ගම්වාසීන් මේ සඳහා මොනතරම් කැපවීම් කළා ද කියලා විහාරාධිපති ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඔවුන් තමන්ගේ මාසික ආදායමින් පවා මුදල් පරිත්‍යාග සිදුකර තිබුණා.

අපේ හාමුදුරුනේ ඔබ වහන්සේලා අනුශාසනා කළ පරිදි ත්‍රිපිටකාභිවන්දනා සතිය මේ සතියේ ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය තීරණයක් අරගෙන එය ප්‍රකාශයට පත්කරලා යුනෙස්කෝ සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ ඉල්ලීම ඉදිරිපත් කළාට පසුව ඒ යෝජනාව අපි යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කිරීමත් සමග ඒ යෝජනාව යුනෙස්කෝ සංවිධානය තුළ ස්ථීර කිරීමට ඉඩකඩ ලබාදෙන්න කියලා ඉන්දීය රජය අපෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම විශේෂයෙන් ආසියාතික බෞද්ධ රටවල්වල රාජ්‍ය නායකයින් වගේම සංඝරාජ ස්වාමීන් වහන්සේලා, මහානායක ස්වාමීන් වහන්සේලා ඒ යෝජනාවට ඒ අයගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රසාදය ලබාදෙන්න, ගෞරවය ලබාදෙන්න ඉඩදෙන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

ත්‍රිපිටකාභිවන්දනා සතියක් ප්‍රකාශයට පත් කළේ ඇයි. අපේ පිරිහෙන සමාජයට ත්‍රිපිටකය පිළිබඳව අවබෝධයක් ලබාදීම වෙනුවෙන්, අපේ බෞද්ධ ජනතාව ඒ වෙත හැඩගැස්වීමෙන් තිබෙන්නා වූ වැදගත්කම නිසයි අපි මේ විදියට වැඩකටයුතු සිදුකරන්නේ කියන එක ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. ඔබ වහන්සේලාගේ අනුශාසනාවලදී සඳහන් කළා මෑත භාගයේ අලුත් පිරිසක් එකතු වෙලා බෞද්ධ දර්ශනය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරන්න පටන් අරන් තිබෙන බව. ඔබ වහන්සේලා සඳහන් කළා වගේම මීට මාස කිහිපයකට පෙර මා මේ ගැන ප්‍රකාශයක් කළා රාජ්‍ය නොවන සංවිධාන වලින් එන සල්ලිවලින් තමයි මේ විදියේ භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක් අපේ බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි අවබෝධයක් ලබාදෙන්න කටයුතු කරන්නේ කියලා. ඊට පසුව දැන් මාසයකට පමණ කලින් මට උන්වහන්සේලාගෙන් පණිවුඩයක් ආවා මම උන්වහන්සේලාට අපහාස කළා කියලා උන්වහන්සේලා ළඟට ඇවිත් සමාව ගන්න කියලා. එහෙම නැත්නම් වහාම නරක විදියට කටයුතු කරනවා කියලා උන්වහන්සේලා ඒ පණිවුඩයේ සඳහන් කරලා තිබුණා. මට ඒ පිළිබඳව දැනුම් දීම කළේ බොහොම උගත් වැදගත් මහත්මයෙක්. මම ඒ මහතාට කිව්වා මම රටේ නායකයා වගේම බෞද්ධයෙක් විදියට ඒ පිරිස කවුද කියලා රටට හඳුන්වා දීමට අවශ්‍ය නිසා එවැනි ක්‍රියා පිළිබඳව නිතර ම සඳහන් කරනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේත් මෙවැනි පිරිස් හිටියා. ඒ නිසා අද වාගේ වකවානුවක මේ ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. එහෙත් අපි මේ ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත්කළේ මෙවැනි ක්‍රියාවන් සමාජය තුළ ඇති වෙනවා වගේම බෞද්ධ දර්ශනය තුළ අපේ වැඩිහිටියන්ටත් දෙමාපියන්ටත් වඩා නව උගත් තරුණ පරපුර දැනුවත් කිරීමේ අවශ්‍යතාවය නිසයි. කෙනෙක් ඇහුවොත් ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියලා බෞද්ධයින්ට වුණත් ඒක කියාගන්න අපහසු වෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පිළිබඳව දැනුවත් කිරීම අපි කළ හැකි ආකාරයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ ව අප විසින් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා ඒ උතුම් කාරණය පිළිබඳව අපි සියලු දෙනාම කැපවෙනවා වගේම මේ පුණ්‍ය කටයුත්තට මහා ශ්‍රද්ධාවක් තිබිය යුතුයි. ඒක තමයි ලොකුම පින. ඔබ වහන්සේලාට වගේම ඊට උපකාර කළ සෑම කෙනෙක්ටම මේ මහා පින ලැබෙනවා වගේම මෙය නිර්මාණය කිරීමේ දී දායක වූ පිරිස වෙත මොනතරම් කුසලයක් ලැබෙනවාද.

බෞද්ධ රටක් විදියට කලා නිර්මාණ, ශ්‍රාස්ත්‍රීය දියුණුව එදා ඓතිහාසික යුගවල සිට එදා මෙදා තුර කාලය ගත්තාම අපේ දේශීය නිර්මාණකරුවන් කොයිතරම් දක්ෂ ලෙස ඉටුකරනවාද කියලා අප දන්නවා. අපේ රට ශ්‍රාස්තීය දැනුමෙන්, හැකියාවෙන්, නිර්මාණශීලිත්වයෙන්, කුසලතාවලින් පොහොසත් රටක්. ආර්ථික වශයෙන් අපිට අමාරුකම් තිබෙනවා තමයි. තවත් එවැනි අමාරුකම් කොතෙක් තිබුණත් අනෙකුත් රාජ්‍යයන්වල ජීවත්වන ජනතාව දෙස බලනවිට අපි මහා පොහොසත් ජනතාවක්.

ලෝකයේ වෙනත් රටවලට ගියාම තමයි දැනෙන්නේ අපේ රටේ වෙනස සහ ඒ රටවල් වෙනස් ද කියලා. අපි බොහෝ වෙලාවට කතාකරනවා මහා ධනවත් රටවල් සියලුම සම්පත් තිබෙන රටවල් කියලා. නමුත් මොනතරම් ධනවත් වුණත්, මොනතරම් සම්පත් තිබුණත් බොහොම සුළු ප්‍රමාණය යි තිබෙන්නේ අපේ වගේ ආධ්‍යාත්මය දියුණු රටවල්. ඒ මහා ශක්තිය අපිට ලැබිලා තිබෙන්නේ බෞද්ධ දර්ශනයෙන්. ඒ නිසා අපි අපට සමාජයේ තිබෙන අභියෝග ජයගන්න, ඉදිරියට යන්න, අපි සැමවිටම බෞද්ධයින් විදියට අපේ ප්‍රතිපත්ති, වත්පිළිවෙත්, අනුව කටයුතු කරමු කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තුතියි

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකක