නාවික හමුදා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක්

ජුලි 16, 2021

වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදි කළ රුධිර කාන්දු පෙරණ ඒකකය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ඊයේ (ජුලි 15) දින සිදුකෙ‍රිණි.

මෙම නව රුධිර කාන්දු පෙරණ ඒකකය මගින් වකුගඩු හා සම්බන්ධ විවිධ සංකූලතාවලින් පෙළෙන සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවික පුද්ගලයන්හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ද ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සැලසෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා සුභ සාධක අංශයේ අරමුදල් මගින් ස්ථාපිත කරන ලද මෙම ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය අනෙකුත් උපාංග සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් අරමුදල් දායකත්වය ලබා දී ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම අවස්ථාව සදහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.