උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ

ජුලි 16, 2021

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 13 වන දින සිට දින තුනක් පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී පැවැත්වු අතර, ඊයේ දින (ජූලි 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.

මෙම ජල ශාස්ත්‍රීය කොමිසමට අයත් වන සාගර කලාපය ඉන්දියාවට උතුරින් අන්දමන් මුහුදු කලාපයේ සිට ඒඩ්න් බොක්ක දක්වා වූ විශාල වශයෙන් මුහුදු ගමන් මාර්ග සිදුවන සාගර කලාපයක් ආවරණය වන බැවින්, එම සාගර කලාපයේ ආරක්‍ෂාකාරී මුහුදු ගමන් මාර්ග ඇති කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වන ක්‍රමවේද සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් අතර සුවිශේෂී විද්වත් අදහස් හුවමාරුවක් මෙම රැස්වීමේදී සිදුවිය.

මෙම රැස්වීම සඳහා කොමිසමේ සාමාජික රාජ්‍යයන්, නිරීක්‍ෂණ රාජ්‍යන්ගේ සාමාජිකයින්, ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශවකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් 50ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ බව නාවික හමුදාව පවසයි.

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසම 2002 වර්ෂයේදී 13 වන කලාපීය ජල ශාස්ත්‍රීය කොමිසම වශයෙන් ස්ථාපිත කරන ලද අතර, එහි ආරම්භක සාමාජිකයින් ලෙස බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මහා බ්‍රිතාන්‍යය කටයුතු කරනු ලබයි.