පැරා ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහල නැංවීමට අවබෝධතා ගිවිසුමක්

ජුලි 17, 2021

ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා මෑතකදී ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ජාතික පැරාලිම්පික් කමිටුව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.   

එළඹෙන 2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙල සහ අනාගත ජාත්‍යන්තර තරඟාවලි සඳහා විශිෂ්ටතම ක්‍රීඩකයන් බිහි කිරීමද ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ අරමුණකි.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මැතිතුමන් සමගින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් අමල් එදිරිසිංහ මහතා සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් එල්.ආර්.ටී.ඩි. හේරත් (විශ්‍රාමික) ජාතික ක්‍රීඩා කවුන්සිල කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව යුද හමුදාව පවසයි.  

පැරා, පැරාලිම්පික් සහ වෙනත් ක්‍රීඩා ඉසව්වන් ඉලක්ක කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලින් සඳහා සහභාගි වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් කෙටි කාලයක් තුල ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මැතිතුමන් එම අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 47 ක මුදලක් මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇත.

මෙවර ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ක්‍රීඩා උළෙල - 2021 සඳහා ක්‍රීඩකයින් 9 දෙනෙකු සහභාගී වේ. මෙම කණ්ඩායමට යුද්ධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු (යුද්ධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික) මෙන්ම නාවික හමුදාවේ ක්‍රීඩකයෙකු සහ සිවිල් අංශයේ ක්‍රීඩකයෙකු ද ඇතුළත් වේ.