සමුද්‍රීය ආරක්ෂාව සඳහා බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්

ජුලි 17, 2021

සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම මෙන්ම අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පැවසීය.

යාත්‍රා වල සවි කෙරෙන සම්ප්‍රේෂක (Transponders) 4200ක්, නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා වු උපාංග හා සැටලයිට් තාක්ෂණ පහසුකම් සහිත නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක් පමණ වේ.

මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිතය.

මෙහි පළමු සම්ප්‍රේෂක කට්ටලය ඊයේ (16) දින ජනාධිපති කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිය.

සුවිශේෂී භූගෝලීය පිහිටීමක ඇති ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාවට නිරීක්ෂණ පද්ධතියේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා විසින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳවද ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.