මිලියන 65 ක් වටිනා ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

ජුලි 27, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ මෑතකදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක් සමග සැකකරුවන් තිදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා උතුරු නාවික විධානය විසින් සිදු කල මෙම මෙහෙයුමේදී ගෝනි 06 ක අසුරා තිබූ මෙම ගංජා තොගය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුමේදී වියළි කහ කිලෝ 19 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ගංජා තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 65 ඉක්මවන බව විශ්වාස කෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සිට 34 දක්වා වයස්වල පසුවන කන්කසන්තුරය වළලායි ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
 
මෙම සැකකරුවන් සමඟ ගංජා, කහ සහ ඩිංගි යාත්‍රාව නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාර දී ඇත.

ආරක්ෂක අමාත්‍යංශය ලබා දී ඇති උපදෙස් වලට අනුව නාවික හමුදාව විසින් කරනු ලැබූ මෙම මෙහෙයුම සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.