නාවික හමුදාවේ අළුත්වැඩියා කිරීමෙන් පසු ‘වඩතාරකි’ නැවත ධාවනය අරඹයි

ජුලි 27, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද විශාල අලුත්වැඩියාවකින් පසු ‘වඩතාරකි’ යාත්‍රාව පසුගියදා පුන්ගුඩුතිව් සහ ඩෙල්ෆ්ට් දූපත් අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන සේවය නැවත ආරම්භ කරන ලදි.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා තිබූ මෙම "වඩතාරකී" යාත්‍රාව අක්‍රීයවීමෙන් දූපත් අතර ප්‍රවාහන කටයුතු ඉතා දුෂ්කර තත්වයකට පත්ව තිබූ බව නාවික හමුදාව පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකල ඉල්ලීමකට අනුව නාවික හමුදාව විසින් අක්‍රීයව තිබු මෙම යාත්‍රාව 2021 මාර්තු මාසයේදී අලුත්වැඩියා කිරීම ආරම්භ කරන ලදි.

ඉන්පසුව, අළුත්වැඩියාව සඳහා යාත්‍රාව කන්කසන්තුරය වරායේ සිට ත්‍රිකුණාමලය නාවික නැව් තටාකාංගනය දක්වා ගෙන යන ලද බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව විසින් කෙටි කාලයක් තුළ අලුත්වැඩියා කටයුතු අවසන් කර යාත්‍රාව නැවත සිය රාජකාරිය සඳහා සූදානම් කරන ලදි.

පවතින වසංගත තත්වය මධ්‍යයේ වුවද නාවික හමුදා කාර්මික කාර්ය මණ්ඩලය එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකරන ලදී .

යාත්‍රාව ක්‍රියාකාරී තත්වයට පත් කර දූපත් අතර සේවයට එක්කර මහජන සුභසාධනය උදෙසා සිදුකළ දායකත්වය, යාපනය සහ ඩෙල්ෆ්ට් ප්‍රදේශවාසි පොදු මහජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද සුවිශේෂි ඇගයීමට ලක් වූ බව නාවික හමුදාව පවසයි.

මෙම නෞකාව යාපනයේ පුන්ගුඩුතිව් දූපතේ කුරිකඩ්ඩුවාන් ජැටිය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගීන් සහ ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදවා ඇත.

ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සදහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවන ලද මෙම මගී නෞකාව නාවික හමුදා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවීම සිදුකරනු ලැබේ.