වෙරළාරක්ෂක බලකාය විසින් මුහුදු කැස්බෑවන් 108 දෙනෙකු නිදහස් කරයි

ජුලි 28, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මුහුදු කැස්බෑවන් 108 දෙනෙකු වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය දිනෙක ශ්‍රී ලංකා වෙරළට මුදා හරින ලදි.

ඒ අනුව මිරිස්ස හි සංරක්ෂණය කරන ලද බිත්තර වලින් උපත ලද මෙම මුහුදු කැස්බෑ පැටවුන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ රෝහණ කදවුර විසින් මිරිස්ස වෙරළට මුදා හැර ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

අපද්‍රව්‍යවලින් තොර වෙරළ කලමනාකරණය හා බිත්තර සංරක්ෂණය කර මුදා හැරීම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායකගේ නියෝගය යටතේ සිදු කරන ලදි.

මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීම සඳහා සකස් කරන ලද ව්‍යාපෘතියට අනුකූලව, කැස්බෑ බිත්තර ස්වාභාවික වාසභූමිවල හෝ යාබද ස්ථානයක සංරක්ෂණය කිරීමට උපරිම උත්සාහයක් ගත් අතර ඒවායේ ආරක්ෂාව සහතික කරන බවද වෙරළාරක්ෂක බලකාය තවදුරටත් සදහන් කරයි.

මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ එක් ප්‍රධානතම කාර්යයකි.

MV X-Press Pearl නෞකාව නිසා ඇති වූ පාරිසරික උපද්‍රවයන්ගෙන් පසු කැස්බෑ පැටවුන් මෑතකදී මුදා හැරීම සාගර පරිසරය යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක සලකුණක් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය පවසයි.