කනුගහවැව ග්‍රාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගුවන් හමුදාවෙන් නිම කර ජනතා අයිතියට

ජුලි 30, 2021

කනුගහවැව ග්‍රාමයේ දෙවන අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ සහභාගිත්වයෙන් ඊයේ (ජූලි 29) දින කනුගහවැව ග්‍රාමයේ දී පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමා විසින් කනුගහවැව ග්‍රාමය සංවර්ධනය කිරිමේ කටයුතු භාරගත් අතර එහි පළමු අදියරේ වැඩකටයුතු ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව නිම කරන ලදි.

ඒ අනුව දෙවන අදියරේදී කනුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ නව කාර්යාල ගොඩනැගිල්ලක්, අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු හා අවශ්‍යතා ඇති පවුල් සඳහා නව නිවාස 12 ක් ඉදි කර භාර දෙන ලදි.

ගුවන් හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සිදු කරගෙන යනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 314 කට පමණ සහන සැලසේ.

මෙම අවස්ථාව සඳහා ඉඩම් අමාත්‍ය ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, රාජ්‍ය නිළධාරීන්, ගුවන් හමුදා සෙබළුන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.