කොතලාවල විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වේ යැයි සමාජය තුළ ඇති චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදියි

අගෝස්තු 01, 2021

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සුදුසුකම් ඇති සෑම කෙනෙකුටම විවෘත වීම තුලින් අපේ රටේ දහස් ගණන් ළමයින් හට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට ඇතුළු වී තම උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට හැකි විය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සතු දැනුම් සම්භාරය, එහි සම්පත් හා මානව ප්‍රාග්ධනය උපරිම ලෙස යොදා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම තුලින් උසස් පෙළ විභාගය සමත් සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය සඳහා වටිනා අවස්ථාවක් උදා කර දී ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ මෑතකදී කෙටුම්පත් කරන ලද කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අද (අගෝස්තු 01) ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනකදී ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් යන මහත්වරු ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති සාකච්ඡාවට සහභාගී වූහ.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර ජාතික විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41,000 දක්වා වැඩි කර තිබුනද උසස් පෙළ සුදුසුකම් ලත් දරුවන් විශාල පිරිසකට උසස් අධ්‍යාපනය වරම් අහිමි වේ.

ධනවත් දෙමාපියන්ගේ දරුවන් විදේශ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය සඳහා යොමු කරන විට අපේ රටට අයත් විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවලට ගලා යාම ගැන සඳහන් කරමින් ජෙනරල් කමල් ගුණරත්න තවදුරටත් පැවසුවේ තවත් සමහර පවුල් තම දරුවන් විදේශ විශ්වවිද්‍යාලවලට අනුබද්ධ දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා අතර එමඟින් ද විශාල මුදලක් විදේශයන් වෙත ගලා යන බවයි.

කෙසේ වෙතත්, අපේ රටේ දුප්පත් පවුල්වල සුදුසුකම් ලත් දරුවන්ට විදේශ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබීමට ප්‍රමාණවත් හැකියාවක් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කර ගැනීමේ මාර්ග අහිමි වන බව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ සුදුසුකම් ලත් ශිෂ්‍ය පරම්පරාව සඳහා තම ජීවිතය සාර්‍ථක කර ගැනීම සඳහා අවස්ථාවක් නිර්මාණය කිරීම වරදක් දැයි අසමිනි.

කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත එල්ල වූ චෝදනා වලට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම ගැන අපේ සමාජය තුළ ඇති චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදි බවයි.

තවද දැනට ලෝකයේ පවතින ආරක්‍ෂක විශ්වවිද්‍යාල පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසුවේ, එවැනි ආරක්‍ෂක විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන් ලෙස හොඳින් සුදුසුකම් ලත් හා ශාස්ත්‍රීය දැනුමින් පිරි උසස් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සේවය කරන බවයි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ද එවැනි සුදුසුකම් ලත් නිලධාරියෙකු වන අතර ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු සඳහා වගකියන නියෝජ්‍ය උපකුලපතිවරයා ඇතුළු බහුතර සිවිල් විද්වතුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩලයකින්ද මෙය සමන්විත වන බවයි.

ඒ අනුව මෙම විශ්වවිද්‍යාලය මඟින් අනාගතයේ දී බිහිවන උපාධිධාරීන්, ශාස්ත්‍රීය වශයෙන් ශක්තිමත්, විනයගරුක නායකත්ව ගුණාංග වලින් යුක්ත පරපුරක් බව ආරක්‍ෂක ලේකම්වරයා සාකච්ඡාවේදී තවදුරටත් තහවුරු කළේය.

අපේ රටේ උසස් පෙළ සුදුසුකම් ලත් ශිෂ්‍ය පරම්පරාව සඳහා විවිධ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා යෝජිත මාර්ග පිළිබඳව පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අධ්‍යාපනය ඉතා බලවත් මෙවලමක් වන අතර අප සෑම කෙනෙකුම එමගින් පෝෂණය කර ඇති බවයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විශ්වවිද්‍යාලයේ පරිණාමයේ විවිධ අවධීන් පිළිබඳව සහ පවතින විධිවිධාන හා ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම ජාතික විශ්වවිද්‍යාල මෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක් දක්වා උසස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විස්තර කළේය.