නාවික හමුදාවෙන් සංවර්ධනය කළ මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

අගෝස්තු 02, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කර පාසල් බලධාරීන් වෙත ඊයේ (අගෝස්තු 1) භාර දෙන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ මණ්ඩතිව් දූපතේ කළ සංචාරයකදී නාවික හමුදාව විසින් වැඩි දියුණු කරන ලද පාසල් පහසුකම් කිහිපයක් විවෘත කළේය.

වැඩිදියුණු කරන ලද පහසුකම් වලට අමතරව, පාසල් පරිගණක විද්‍යාගාරය සඳහා පරිගණක දහයක් සහිත පරිගණක මේස සහ පුටු සහ ක්‍රීඩා උපකරණ ද නාවික හමුදාව විසින් ලබා දී ඇත.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිසුන් වෙත පාසල් උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදුවිය.

නාවික හමුදාව විසින් අරමුදල් හා ශ්‍රමය යොදවා නව දෙමහල් ගොඩනැගිල්ලක් සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ලක් පාසල වෙත ලබා දුන් බව නාවික හමුදාව පවසයි.

එක් එක් නාවික විධාන යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින පාසල් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සඳහන් කරමින් අඩු පහසුකම් ඇති පාසල් වල ඉගෙනුම ලබන සිසුන්ට නව බලාපොරොත්තුවක් ඇති කිරීම උදෙසා මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදා 70 වන සංවත්සරයට සමගාමීව, දුෂ්කර පාසල් වල සිසුන්ගේ අධ්‍යාපන පහසුකම් නැංවීම සහයෝගය දැක්වීම සඳහා, වරප්‍රසාද නොලත් පාසල් අටක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව විසින් සිදු කරයි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත්වූ බව නාවික හමුදාව තහවුරු කරයි.

මෙම අවස්ථාව සඳහා යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්, මණ්ඩතිව් දූපතේ පිහිටි කතෝලික දේවස්ථානයේ පූජකතුමන්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පළාත් අධ්‍යාපන, තරුණ, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යක්‍ෂක (දූපත්), ගුරු භවතුන් සහ සිසු දරුවන් සීමිත පිරිසක් සහ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.