නව යුද හමුදා මූලස්ථානයේ ජනාධිපතිගේ පළමු සංචාරය

අගෝස්තු 04, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (අගෝස්තු 3) දින කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී.

නව යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ සිය පළමු සංචාරය සඳහා පැමිණි ජනාධිපතිතුමා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගත් අතර ජනාධිපතිතුමා වෙත විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීය.

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සිදු කළ ජනාධිපතිවරයාගේ මෙම පළමු සංචාරයට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ( විශ්‍රාමික ) ද සහභාගී විය.

මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් ගුවන් සංග්‍රාමික බලසේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කල අතර එම තොරතුරු ඇතුලත් ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සහ එහි විද්යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක්කිරීමද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදුවිය.

යුද හමුදාපතිගේ ආරාධනයෙන් ජනාධිපතිතුමා විසින් නව යුද හමුදා මූලස්ථානයේ ‘මෙහෙයුම් මැදිරිය’ ද විවෘත කරන ලදී.

යුද හමුදා කෞතුකාගාරය ඇතුළු යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාන රැසක් මෙම සංචාරයේදී ජනාධිපතිතුමන් විසින් නිරික්ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද හමුදාපති විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමූ අතර සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වුහ.