උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ වේ

අගෝස්තු 10, 2021

රටේ සියලු පුරවැසියන් සඳහා උප්පැන්න, මරණ සහ විවාහ සහතික ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට වේගවත්, කාර්යක්‍ෂම සහ පහසු ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති අතර, එම ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මේ සබැඳිව පැවති අක්‍රමිකතා වැළැක්වෙන බව ආරක්‍ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.

තවද, ශ්‍රී ලංකාවාසී ජනතාවට මාර්ගගත ක්‍රමය හරහා ඉතා ඉක්මනින් ඔවුන්ගේ ඔප්පු පිටපත් සහ පත්තිරු වල පිටපත් ලබාගැනීමට හැකි වන අතර, ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමය යටතේ මෙම නව මාර්ගගත ක්‍රමය හදුන්වා දුන් බව ජෙනරල් ගුණරත්න පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ උප්පැන්න, මරණ හා විවාහ සහතික ලබාදීම සඳහා වන මාර්ගගත සේවාව පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම වෙනුවෙන් අද (අගෝස්තු 10) දින ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

2021 අගෝස්තු මස 02 වන දින සිට ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ක්‍රමය හඳුන්වා දීම ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් තබන ලද විශාල ඉදිරි පියවරක් බව ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

නිවැරදි හා වලංගු සහතිකයක් තිබීමේ වැදගත්කම ඉස්මතු කරමින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්  මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ 1960 වර්ෂයෙන් පසු ලියාපදිංචි කරන ලද උප්පැන්න, විවාහ හා මරණ සහතික මෙම දෙපාර්තමේන්තුව විසින් සකසන ලද මධ්‍යගත පද්ධතියක් මගින් සරල ක්‍රමවේදයක් ඔස්සේ පුරවැසියන්ට ලබාගැනීමට මෙමගින් හැකිවන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොල මහත්මිය සහ සහකාර අධ්‍යක්‍ෂ (තොරතුරු තාක්‍ෂණ) තාරක ප්‍රශාන්ත මහතා ස්මාර්ට් ජංගම දුරකථනයක් / පරිගණකයක් භාවිතා කර වීසා / මාස්ටර් කාඩ් භාවිතයෙන් නියමිත ගෙවීම් සිදුකර අදාල සහතික ලබාගැනීම සඳහා අයදුම් කළ යුතු ආකාරය පැහැදිලි කරන ලදි.

1960 වර්ෂයේ සිට 2018 දක්වා ලියාපදිංචි කරන ලද උප්පැන්න, මරණ හා විවාහ සහතික මිලියන 36 ක් පරිලෝකනය කර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත පද්ධතිය තුළ ඇති බැවින් ශ්‍රී ලාංකිකයින්ට මෙම සේවාව ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇත.

මෙම පහසුකම මඟින් ජනතාවට උප්පැන්න, මරණ සහ විවාහ සහතික, සීඝ්‍රගාමී තැපෑල  මගින් හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියව ලැබෙන බව  මෙහිදී අවධාරණය කරන ලදි.

ශ්‍රී ලාංකිකයින්ට https://online.ebmd.rgd.gov.lk යන වෙබ් යෙදුම භාවිතා කර ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 288 9518 යන දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංවිධානය කරන ලද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සහ මාධ්‍යවේදීන් සහභාගී වූහ.