අයගම සිට කලවාන දක්වා මාර්ගය යුද හමුදාවෙන් අලුත්වැඩියා කෙරේ

අගෝස්තු 18, 2021

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000 ක් සංවර්ධන කිරීමේ රජයේ ව්‍යාපෘතිය යටතේ අයගම සිට කලවාන දක්වා කිලෝමීටර් 16.5 ක් පමණ වන මාර්ගය අලුත්වැඩියා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලබයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද හමුදා ඉංජිනේරු බලකායේ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන බව යුද හමුදාව පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 209 ක් ඇස්තමේන්තුගත කර ඇති අතර 2020 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියාත්මක කරන බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

අතිගරු ජනාධිපතිතුමාගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනේදී සිදුකල ඉල්ලීමකට අනුව ප්‍රදේශවාසි ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අබලන් තත්වයේ තිබු මෙම මාර්ගය අලුත්වැඩියා කිරීම යුද හමුදා සහයෙන් සිදුකරනු ලැබේ.