ගුවන් හමුදාවෙන් තවත් ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලට

අගෝස්තු 29, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය සමාජ සෞඛ්‍ය ආරක්‍ෂක කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යමින් තවත් තාපහියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (අගෝස්තු 28) දින ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහල වෙත භාර දෙන ලදී.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණ දෙන නිලධාරි සහ පිරිස් සේවා නිලධාරී අණදෙන ගෲප් කැප්ටන් එන් සපුගස්තැන්න විසින් විශේෂඥ වෛද්‍ය අනුරංගා සේනානායක වෙත මෙම ප්‍රතිකාර ඒකකය භාර දුන් බව ගුවන් හමුදාව පවසයි.

ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලේ කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ප්‍රතිකාර ඒකකය භාවිතා කරන බව වෛද්‍ය සේනානායක පැවසීය.

කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.